සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටියදී පසුගිය රජය සමයේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මිලදී ගනු ලැබූ රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී කැබ් රථයක් පෞද්ගලික පාවිච්චිය සඳහා යොදාගෙන සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි හිටපු ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍ය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (25) වරෙන්තු නිකුත් කළාය.
සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදී හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබිණි.
ඉකුත් 2015 වර්ෂයේදී සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙත රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා කැබ් රථයක් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වූ සරණ ගුප්ත ගුණවර්ධන මහතා විසින් ඔහුගේ අස්සන් සහිත ලියකියැවිලි ඉදිරිපත් කර ලීසිං පදනම මත යුනයිටඩ් මෝටර්ස් ආයතනයෙන් මිලදී ගෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පාවිච්චිය සඳහා යොදා නොගෙන පෞද්ගලික පාවිච්චිය සඳහා යොදාගෙන සාවද්‍ය පරිහරණය කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇති අතර ඒ සම්බන්ධව ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් සැප්තැම්බර් 4දාය.
ඔහුව අත්අඩංගුවට ගෙන අධිරණයට ඉදිරිපත් කිරීමෙන් පසු කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව ඇප මත මුදාහරිනු ලැබිණි.
අගෝස්තු 21දා නඩුව යළි කැඳවීමට නියමිතය.