කිසිඳු දැනුම් දීමකින් තොරව TRCය TNL නාලිකාවට සීල් තබයි..!

ටි.එන්.එල්. රූපවාහිනි සේවයේ පොල්ගහවෙල සම්ප්‍රේෂණාගාරයට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRC) නිලධාරින් විසින් සීල් තබා ඇති බව වාර්තා වෙනවා.

ටි.එන්.එල් රූපවාහිනි සේවය විසින් TRC වෙත ගෙවිය යුතු ගාස්තු නිසි පරිදි නොගෙවීම නිසා මෙම සීල් තැබීම සිදු කර ඇති අතරම මේ වන විට එම සම්ප්‍රේෂණාගාරයේ උපකරණ එතැන් ඉවත් කිරීමට එම නිලධාරින් කටයුතු කරමින් පවතිනවා.

එම මධ්‍යස්ථානයේ කටයුතු අක්‍රිය වීමත් සමඟ සබරගමුව, වයඹ හා බස්නාහිර පළාතේ ප්‍රදේශ රැසක විකාශන කටයුතුවලට අවහිරතා මතුව ඇති බව ද TNL රූපවාහිනි සේවය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ, විදුලි සංන්දේශ නියාමන් කොමිෂන් සභාව විසින් ඊයේ(04) දිනයේ දී අවසරයකින් තොරව විදුලි කුළුණු පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර ඇති බවයි. එම පැමිණිල්ල අනුව පොලීසිය විසින් අධිකරණය හමුවේ මෙම කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී කියා සිටියේය.

ඒ පිළිබඳව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊට අදාළව විමර්ශනයක් සිදු කරන ලෙසට හා එහි ඇති විකාශන උපකරණ, පොලිස් බාරයට ගන්නා ලෙසට නියෝග කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් වෙබ් අඩවියට අදහස් දක්වමින් ටීඑන්එල් රූපවාහිණියේ සභාපති ශාන් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ, මේ සම්බන්ධයෙන් සිය නාලිකාවේ පොල්ගහවෙල විකාශණාගාරකට මුද්‍රා තබා එහි වටිනා භාණ්ඩ රැගෙන යාමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

පොල්ගහවෙල විකාශනාගාරයට අදාල ගෙවීම් සිදු නොකල බව පවසමින් කිසිදු දැනුම් දීමකින් තොරව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් තමන් ඉදිරියෙදී නඩු මගට පිවිසෙන බවත් ඔහු අවධාරණය කළේය.

මේවන විට ටීඑන්එල් රූපවාහිණියට අයත් නුවරඑළිය, බදුල්ල සහ මහනුවර විකාශනාගාරද සීල් තැබීමට සූදානම් වන බවට තමාට වාර්තා වූ බවත් තමන් ඒ පිළිබඳ විමසීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිලධාරීයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඒ කිසිවෙකු දුරකතන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ බවත් ශාන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *