කැබිනට් එක විරුද්ධ වෙද්දී සිංගප්පූරු ජාතික පල් හොරෙකුට මහ බැංකුව භාරදුන්නේ කවුද? ඇත්තටම වැරැදි පිරිසකට රට භාර දීලා තවදුරටත් බලා නොසිට මේ පාලනය අපි අවසන් කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.
රතන හිමියන් එසේ පැවැසුවේ පෙරේදා (28) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවැත්වුණු ශ්‍රී ලංකා කාන්තාවන්ගේ සංවර්ධන සේවා සමුපකාර සමිතියේ 30 වැනි සංවත්සරයට සහභාගි වූ අවස්ථාවේදීය.
එම සංවත්සර සැමරුම ශ්‍රී ලංකා කාන්තා සංවර්ධන සමුපකාර සමිතියේ නිර්මාතෘ නන්දසිරි ගමගේ මහතාගේ උපදෙස් මත සංවිධානය කර තිබුණු අතර එම අවස්ථාවට ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම කාන්තාවන් පන්දහසකට අධික පිරිසක් සහභාගි වූහ.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අතුරලියේ රතන හිමියෝ,
කලින් එජාපය හා ශ්‍රී ලනිපය වෙන වෙනම හොරකම් කළා. දැන් දෙගොල්ල එකතු වෙලා ආණ්ඩුවක් හදල හොරකම් කරනවා. මගේ නමට ඉදිරියෙන් තනතුරක් තියෙනවා ජනාධිපති උපදේශක කියලා. මගෙන් ගත්ත උපදේශයක් නැහැ. මට ලැජ්ජයි මගේ නම ජනාධිපති උපදේශක කියල කියනකොට. ඒ නිසා ඔය ජනාධිපති උපදේශකකමට මින් පස්සේ මගේ කිසිම සම්බන්ධයක් නැහැ.
අපේ රටේ පාලකයෝ ගස්වල කොළ ගාණට වරින් වර ණය වෙලා. අද මුළු රජයේ ණය ප්‍රමාණය මිලියන 7,390යි. අපේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 70ක් ණය ගෙවන තත්ත්වෙට පත්වෙලා.
මනුස්සයෙක් දවසකට රුපියල් 1,000ක් උපයනවා නම් ඒකෙන් රුපියල් 700ක් ණය ගෙවන්න වෙලා. අපේ පාලකයෝ සංවර්ධනය කරනවා කියලා කරල තියෙන්නේ අපේ මුළු රටම ණයකාරයෝ ඉන්න රටක් බවට පත් කරපු එක. ඒ පාලකයෝ හිතාගෙන ඉන්නෙ ණය ගන්න මහා ලොකු හපන්කමක් කියලා. එක එක රටවලින් ණය අරගෙන මෙහේ ඇවිල්ල මහ උජාරුවට කියනවා. ඊට පස්සේ ජනතාවට කියනවා දැන් බැංකුවේ සල්ලි තියෙනවා. දැන් ඒක පුද්ගල ආදායම ඉහළ ගිහිල්ලා කියලා. මේව පට්ටපල් බොරු. රට සියයට 70ක් ණය කරල නම් ඒ රටේ ඉරණම මොකක්ද?
අද ලෝකේ විශාල ප්‍රශ්නයක් තමයි තෙල් සහ ගල් අඟුරු නිසා ඇතිවෙච්ච මහා විපර්යාසය. පසුගිය කාලේ රටේ එක පැත්තකට ගංවතුර. තව පැත්තකට නියඟය. ජනතාව හිතන්නේ මේක සාමාන්‍ය නියඟයක් කියලා. මේක සාමාන්‍ය නියඟයක් නෙවෙයි. අපි පුච්චපු තෙල් සහ ගල් අඟුරු නිසා ඇති වෙච්ච පාරිසරික විනාශය නිසා ඇති වුණ නියඟයක්. අද ලෝකේ විශාල ප්‍රශ්නයක් බවට මේක පත්වෙලා තියෙනවා. ඒක නිසා හැමෝම කල්පනා කළා තෙල් සහ අඟුරු නැති ලෝකයක් හොයාගෙන අපි යන්න ඕන. ඒ නිසා විකල්පයක් කරා යන්න කියලා 2015 සියලු ජාතීන් එකතු වෙලා එකඟතාවකට ආවා. එහෙම එකඟතාවකට ආවට කවුරුත් නැහැ. මේ රටේ පාලකයෝ මහා ලොක්කෝ වගේ පෙනුණට කොම්පැනි දහයක් තමයි රට පාලනය කරන්නේ. ඒක නිසා මේ තීන්දුව ඉක්මනට ක්‍රියාවට නැඟෙන්න ඕනෑ.
අපේ ජීවිතය පර්යේෂණයක් වගේ. අපි තරුණ කාලෙ හිතුව මේ සමාජය වෙනස් කරන්න ඕන කියලා. විවිධ පක්ෂ හැදුවා. විවිධ සමාජ සංවිධාන ගොඩනැඟුවා. මම හැමදාම අලුත් සමාජ බලයක් ඕන කියලා හිතපු කෙනෙක්. නමුත් අපිට ඒක කෝටිපතියෝ නැහැ. අපිට ඒක කරන්න හිතේ හයිය තිබුණට ජනතාව ඒක පිළිගන්න සූදානම් නැහැ. අපේ රටේ සමාජ ව්‍යාපාර හදල තියෙන්නේ තමන්ගේ ළමයින්ට. රටට නෙවෙයි. දරුවන්ගේ බූදලයක් හැටියට තමයි මානව හිතවාදය කතා කරන්නෙ. ඒ නිසා මේ සමුපකාර ව්‍යාපාරයට තියපු අත්තිවාරම අපි ඉදිරියට ගෙන ගියොත් මේ රට ගොඩනඟන්න පුළුවන්.
අපේ රටේ බහුතරයක් ජීවත් වෙන්නෙ සියයට හයක භූමියක. මේ රට අංක එකේ පොහොසත් රට බවට පත් කරන්න පුළුවන්. ඒක දේශපාලකයන්ට බැරි බව දැන් එයාල ඔප්පු කරලා ඉවරයි. මේ වගේ කාන්තා සංවිධානවලට පමණයි ඒක කරන්න පුළුවන්. මේ රට කාගෙවත් නෙවෙයි. මේ අපේ රට හැමෝම එකතු වෙලා මේ තත්ත්වෙන් මේ රට බේරගන්න ඕනෑ.