දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර පන්ලියද්ද ප්‍රදේශයේදී අද(09) දින දහවල් පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එහි ගමන් ගත් භික්ෂූන් වහන්සේ නමක් සහ භික්ෂුණින් වහන්සේ නමක් ඇතුළු 60 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ගොකරැල්ල පොලීසිය පවසයි.
මැල්සිරිපුර සහ ගලේවෙල අතර පන්ලියද්ද ප්‍රදේශයේදී සිදුවූ මෙම බස් රථ අනතුරින් බස් රථ දෙකේ ගමන්ගත් තුවාල ලැබූ මඟින් මේ වන විට ගලේවෙල, කුරුණෑගල, ගොකරැල්ල, දඹුල්ල යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ වන් අතර රියදුරන් දෙදෙනා ද සිටින බව පොලීසිය පවසයි.
ඔවුන් දෙදෙනා ඇතුළු තවත් මගීන් විස්සකට පමණ බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පෞද්ගලික බස් රථ දෙකම එකම පුද්ගලයෙකුට අයත් බස් රථ බව හඳුනා ගෙන තිබේ.
මෙම එක බස් රථයක් ඇඹිලිපිටියේ සිට යාපනය බලා ද අනෙක් බස් රථය වව්නියාවේ සිට ඇඹිලිපිටිය බලා ද ධාවනය වෙමින් තිබූ බව පොලීසිය පවසයි.
තවත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී අනතුර සිදුවී ඇති අතර, බස් රථයේ සිටි ජනතාව කියා සිටියේ බස් රථ රියදුරන් දෙදෙනා ඈත සිටම අධික වේගයෙන් පැමිණ ඔවුන් දෙදෙනාගේ මිතුරුකමට බස් රථ දෙක එකට යා කිරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුර සිදුවු බවයි.
බස් රථ දෙකම එකම අයිතිකරුට අයත් බස් රථ බැවින් රියදුරන් දෙදෙනා නිතර ප්‍රධාන මාර්ගයේ දී හමුවී සංඥා දෙමින් විදුලි පහන් දල්වමින් ගමන් කිරීම සුලභ සිදුවීමක් බව ද ඇතැම් මගීන් පවසති.
සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසීහු කියා සිටියේ එකවරම විශාල ශබ්දයක් ඇසී බලන විට මගීන් කෑ ගසන ශබ්දය ඇසුණු බවයි. අනතුරුව ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ වාහනවලට රෝගීන් පටවා ගලේවෙල රෝහලටත් ගොකරැල්ල රෝහලටත් යැවීමට අවශ්‍ය පියවර ගත් බවයි.
ගලේවෙල රෝහලට ඇතුළත් කළ බොහෝ රෝගීන් දඹුල්ල මූලික රෝහලට මාරුකර වුණ බවද ගොකරැල්ල රෝහලට රැගෙන ගිය රෝගීන් කුරුණෑගල රෝහලට මාරු කර යැවු බව ද රෝහල් ප්‍රකාශකයෝ පවසති. මෙම අනතුර හේතුවෙන් දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගය විනාඩි 45ක පමණ කාලයක් ගමනා ගමනයට බාධා එල්ල වූ අතර ගොකරැල්ල සහ ගලේවෙල පොලීසිය එක්ව මාර්ගයේ ගමනා ගමන බාධක ඉවත් කරනු ලැබීය.
මෙම අනතුරට හේතුව රියදුරන් දෙදෙනාගේ අපරීක්ෂාකාරී රිය ධාවනය සහ විහිළු කරමින් මාර්ගයේ ගමන් කිරීමට යෑම බව මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි ගොකරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙකු සඳහන් කළේය.
බස් රථ දෙකේම ඇතුළත ආසන රැසක් ගැලවී ඉදිරියට විසි වී තිබුණු බවත් පොලීසිය පවසයි. ඒ නිසාවෙන් බොහෝ මඟීන්ගේ අත් පා කැඩී මුහුණුවලට බරපතළ හානි සිදු වී ඇතැයි ද රෝහල් බලධාරීහු පවසති.
අනතුර සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එන්.ජයරත්න මහතා පරීක්ෂණ පවත්වයි.
-අද දෙරණ-