රනිල්ට එරෙහිව එජාපයෙන් ගරිල්ලා මෙහෙයුමක්!

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර ඒ සඳහා සුදුස්සකු පත්කර ගැනීමට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් ‘ගරිල්ලා’ සහ ‘නින්ජා’ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇතැයි පසුපෙළ මන්ත්‍රි කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක් පැවැසීය.

පක්ෂය තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මඟහැරවීම සඳහා ගෙන ගිය ප්‍රතිසංවිධාන ක්‍රියා පිළිවෙතට මුල් වී කටයුතු කළ පිරිසකට තනතුරු පිරිනමා ඔවුන් නිහඬ කිරීමට නායකත්වය පියවර ගෙන ඇති බව පෙන්වා දෙන පසුපෙළ මන්ත්‍රිවරු, ඉදිරි ජනාධිපතිවරණයේදී තම පක්ෂයේ ජනාධිපතිවරයකු පත්කර ගැනීමට ඇති අවස්ථාව අහිමිවන තත්ත්වයක් මේ නිසා නිර්මාණය වෙමින් පවතින බවද සඳහන් කරති. පක්ෂය තුළ පවතින ඒකාධිපති ක්‍රියාකාරිත්වය මඟින් පසුපෙළ මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකාරකම් අඩපණ කිරීමට දරන උත්සාහය වැළැක්වීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් ප්‍රබල අභියෝගයක් ඇති කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බවද දැනගන්නට ඇත.

පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් නොවී තවදුරටත් නායකත්වයේ රැඳී සිටීමේ උත්සාහයක යෙදෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ ප්‍රබල සංවිධානයක් ගොඩනැංවීම හරහා මෙම අභියෝගය ගොඩ නැංවීමට තීරණය කර ඇතැයි පසුපෙළ මන්ත්‍රිවරු පවසති. එජාප නායකත්වය පාක්ෂිකයන් විසින් පිළිනොගන්නා බව පසුගිය පළාත් පාලන ඡන්ද ප්‍රතිඵල පැහැදිලිවම පෙන්නුම් කර ඇති බව පෙන්වා දෙන එම මන්ත්‍රිවරු ඉදිරි මැතිවරණවලදී මෙම ප්‍රතිඵලය තවත් වර්ධනය වී එජාප ඡන්ද පදනම දැඩි පසුබෑමකට ලක්වීම වැළැක්විය නොහැකි බවට අනතුරු අඟවති.

එජාපයෙන් කැඩී ගොස් සිටින සියලු කොටස් සමඟ සාකච්ඡා කොට නායකත්වය වෙනස් කිරීම සඳහා සන්ධානගත වීම ඉදිරි මාස හය ඇතුළත සිදු කිරීමට තීරණය කර ඇතැයිද එම කණ්ඩායම සඳහන් කළේය.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.