මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති – ආගම්වලට බෙදී ඇනකොටා ගැනීමයි – අගමැති

මේ රට පිරිහීමට ප්‍රධාන හේතුව ජාති-ආගම්වලට බෙදී ඇනකොටා ගැනීම බවත්, භාෂාව තුළින් ඉන් මුදවා ගැනීමට ඇති ප්‍රබලතම අවිය බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවැනි භාෂාවට විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇගැයීම සඳහා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවැසීය.

මම මෙම ස්ථානයට පැමිණි පසු බදුල්ල, උඩවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. සංඛ චතුරංග සිසුවා ලියන ලද ලිපියක් කියෙව්වා. එහි මෙසේ සඳහන් වෙනවා.

“අප රට දවසින් දවස දියුණුව වෙත වේගයෙන් ගමන් කරන රටකි. එසේම සුන්දරත්වයෙන් පිරුණු රටකි. මෙම සුන්දරත්වය හා දියුණුව තව තවත් අර්ථවත් කර ගැනීමට නම් මෙහි ජීවත් වන සියලු දෙනාගේම සිත් ජාති, ආගම් හා භාෂා භේදවලින් තොරව එක්විය යුතුය. මුළු හදවතින්ම සියලු දෙනාම එක් කළ හැකි හැකියාවක් ඇත්තේ අප භාවිත කරන භාෂාවන්ට පමණයි. ජන හදවත් යා කරන පාලම වන්නේද භාෂාවයි”

මෙම ලිපිය ලියූ සංඛ චතුරංග සිසුවා දැන් මේ ස්ථානයේ සිටිනවා දැයි මා දන්නේ නැහැ. සංඛ චතුරංග සිසුවා සිටිනවා නම් අත ඔසවන්නැයි මා ඉල්ලා සිටිනවා. කෙසේ හෝ මම එක් දෙයක් කියන්නට කැමැතියි. සංඛ චතුරංග සිසුවා මෙම ලිපිය ඔස්සේ පවසන දේට මම සියයට සියයක් එකඟයි.

මැලේසියාවේ මැලේ හා දෙමළ ජාතීන් අතර ගැටුම් පැවතුණා. ඒ ගැන අපි කනගාටු වුණා. ඉන්පසු මැලේසියාවේ කිසිම ගැටලුවක් ඇති වුණේ නැහැ. සියලු දෙනාම එකට ජීවත් වුණා. අද වන විට මැලේසියාව අපට වඩා විශාල දියුණුවක් ලබා ඇති රටක් බවට පත්ව තිබෙනවා.

මැලේසියා ගැටුම් දැකපු සිංගප්පූරුව ඔවුන්ගේ රටේ එවැනි ගැටුම් ඇති වීමට ඉඩ නොතබන බවට තීරණයකට පැමිණියා. සිංගප්පූරුවේ පුරවැසියකුගේ ආදායම ඇමෙරිකානු පුරවැසියකුගේ ආදායමට සමානයි.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සමඟ අපි ආණ්ඩුවක් පිහිටෙව්වා. රටේ ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වීම යනු අසීරු කටයුත්තක්. නමුත් සමඟිය ගොඩනැඟීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අපි බොහෝ දෙනෙක් එකතු වුණා. අපිට යළි යුද්ධයකට යා නොහැකියි. සංඛ චතුරංග සිසුවාට මෙන්ම සියලු දෙනාටම මේ රටේ හොඳ අනාගතයක් ලබාදීම වෙනුවෙන් අපි කටයුතු කරමින් සිටිනවා.

මේ වසරේදී මහනුවර ප්‍රදේශයේ ගම් දෙකක ගැටුම්වලින් සිදුවූ හානිය අපි දුටුවා. එවැනි තත්ත්වයක් යළි ඇති වන්නේ නැහැ. අපේ ප්‍රශ්න විසඳා ගනිමින් හොඳ අනාගතයක් වෙනුවෙන් අලුත් සංවර්ධන කටයුතු ආරම්භ කරනවා. මෙහි ප්‍රතිඵල ලැබෙන්නේ මෙම ශාලාවේත්, ඉන් පිටතත් සිටින දරු දැරියන්ටත් බව කිව යුතුයි. එනම් අපේ අනාගත පරපුරටයි.

සිංහල භාෂාව ඉගෙන ගත් විට රටේ බහුතරයක් භාෂාව සෑම දෙනාටම දැනගත හැකියි. දෙමළ භාෂාව ඉගෙන ගත් විට ඉන්දියාවේ, තමිල්නාඩුව අවට සිදුවන විශාල දියුණුව නිසා යුරෝපීයයන්ට වඩා හොඳ අවස්ථාවන් අපට ලබා ගත හැකියි. ඒ වගේම අපි සියලු දෙනා ජාත්‍යන්තර භාෂාව වන ඉංගී්‍රසි භාෂාවද ඉගෙන ගත යුතුයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *