මංගලගේ තෙල් සූත්‍රය වගේ පඩි වැඩිවන සූත්‍රයකුත් ඉල්ලයි

වැඩිවන ජීවන වියදම දරා ගැනීමට නොහැකි වී සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිවීම දරාගත නොහැකි බවත් ආණ්ඩුව ඒ සදහා යොදාගත් ඉන්ධන මිල සම්බන්ධයෙන් පවතින මිල සූත්‍රය රටට හෙළි කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ආණ්ඩුව මිල සූත්‍රයක් අනුව ඉන්ධන මිල වැඩි කරන්නේ නම් ජනතාවගේ ආදායම් වැඩි කර ගැනීමට සූත්‍රයක් හඳුන්වා දිය යුතු බවත් මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩි කරන නිසා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප මාස දෙකෙන් දෙකට වැඩි කිරීමට අදාළ සූතුයක්ද හඳුන්වාදිය යුතු බවද ටිල්වින් සිල්වා මහතා පැවසීය.

අද (11) කොළඹ එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. මෙම අවස්තාවට ජවිපෙ මධ්‍යම කාරක සභික බස්නාහිර පලාත්සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි මහතාද එක්විය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා…

“ආණ්ඩුව දෙපැත්තට කඹ අදිමින් ඉඳලා නැවතත් ඉන්ධන මිල වැඩිකළා. මීට පෙර මැයි 10වැනිදා ආණ්ඩුව විසින් තෙල් මිල වැඩිකරලා තිබියදී නැවත වතාවක් ඊයේ ඉන්ධන මිල වැඩිකළා. පෙට‍්‍රල් ලීටරයක මිල රු. 8කින්ද ඞීසල් ලීටරයක් රු. 9කින්ද සුපර් ඞීසල් ලීටරයක මිල රු. 10කින්ද වැඩිකොට තිබෙනවා. මැයි 10වැනිදා වනවිට 117ක්ව තිබුණු පෙට‍්‍රල් ලීටරයක මිල 137 දක්වා රු. 20කින් වැඩිකළා. ඊයේ නැවත රු. 8කින් වැඩිවූ අතර දැන පෙට‍්‍රල් ලීටරයක මිල 145ක් වෙනවා. ඒ අනුව පහුගිය මාස දෙක තුළ පෙට‍්‍රල් ලීටරයක සමස්ත වැඩිවීම රු. 28ක්. එසේම මැයි 10වැනිදා රු 95ක්ව තිබුණු ඞීසල් ලීටරය රු. 109 දක්වා රු. 14කින් වැඩිකළ අතර ඊයේ නැවත රු. 118 දක්වා රු. 9කින් මිල වැඩිකළා. ඒ අනුව පහුගිය මාස 2 තුළ ඞීසල් ලීටරයක මිල රු. 23කින් වැඩිකළා. මාස දෙකක් ඇතුළත විශාල මිල වැඩිකිරීමක්. මෙම මිල වැඩිවීම ජනතාවට දරාගන්න අමාරුයි. එදිනෙදා වැඩිවන ජීවන බර දරාගත නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩිකොට බර පැටවීම අසාධාරණයි. එනිසා ආණ්ඩුව තෙල් මිල අඩු කිරීමට වහාම පියවර ගත යුතුයි”.

“ලංකාවේ තෙල් බෙදාහරින සමාගම් දෙකක් තිබෙනවා. ඉන්දියානු අයි. ඕ.සී. සමාගම සහ ආණ්ඩුවට අයත් සිපෙට්කෝ සමාගම. එම සමාගම් දෙකට තමන්ගේ තීරණවලට අනුව තෙල්මිල වැඩිකිරීමට හැකියාව තිබෙනවා. අයි. ඕ.සී. සමාගම හිතුමතේ මිල වැඩිකරන නමුත් සිපෙට්කෝ සමාගම ආණ්ඩුවට අයත් නිසා මුදල් අමාත්‍යාංශයේ තීරණ අනුව මිල වැඩිකිරීම් සිදුකරනවා. පහුගිය මැයි මාසයේ අයි. ඕ.සී. සමාගමත් සිපෙට්කෝ සමාගමත් මුදල් අමාත්‍යාංශයත් සාකච්ඡුා එකඟතාවයෙන් ඉන්ධන මිල වැඩිකළා. ඒ විතරක් නෙවෙයි, මාස දෙකෙන් දෙකට මිල වෙනස් කිරීම සඳහා මිල සූත‍්‍රයක්ද හඳුන්වා දුන්නා. මිල සූත‍්‍රය හදනකොට ආණ්ඩුව කිව්වේ ලෝක වෙළඳපොළේ මිල අනුව ලංකාවේ ඉන්ධන මිල අඩු වැඩි වෙන්න පුළුවන් කියලා. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ මාස දෙකෙන් දෙකට මිල වැඩිවීමයි. පසුගිය 5වැනිදා ඉන්ධන මිල වැඩිකිරීමට මුදල් අමාත්‍යාංශය ගත් තීරණය අනුව මුදල් අමාත්‍යාංශය හා සිපෙට්කෝ සමාගම අතර ගැටුමක් ඇතිවුණා. ඒ නිසාම තෙල් සංස්ථාවට චක‍්‍රලේඛයක් නිකුත්කිරීමට සිදුවුණා, තම බෙදාහැරීම් මධ්‍යස්ථානවලට එම වැඩිවීම සමාගමේ තීරණයක් නොවෙයි කියලා. මාධ්‍ය වාර්තා පළවුණා ජනාධිපතිවරයා මැදිහත් වෙලා ඉන්ධන මිල වැඩිවීම නතර කළා කියලා. කෙසේ නමුත් පැය දෙක තුනක් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමට කටයුතු කොට තිබුණා. එවැනි තත්වයක් තිබියෙදී තමයි කැබිනට් මණ්ඩලය තීරණය කරලා මිල වැඩිකිරීම සිදුකරන්නේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් වෙනම සාකච්ඡුාවක් සිදුකළ බව වාර්තා වෙනවා.

මැයි මස 10වැනි දින ඉන්ධන මිල වැඩිවීම නිසා බස් ගාස්තු, තී‍්‍රවීල් ගාස්තු මෙන්ම වෙනත් භාණ්ඩ ගණනාවක මිල වැඩිවුණා. එසේ තිබියදී තමයි මෙම ඉන්ධන මිල නැවත වැඩිකරන්නේ. එමගින් නැවතත් බස් ගාස්තු, ත‍්‍ර‍්‍රීවීල් ගාස්තු සහ අනෙකුත් භාණ්ඩවල මිල වැඩිවිය හැකියි. ඒ වගේම මේ වෙලාවේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවෙලා නැහැ. ඩොලර් ශත ගණනක් එහෙ මෙහෙ වුණාට එය මිල වැඩිවීමක් ලෙස සලකන්නේ නැහැ. ඒ වගේම ආණ්ඩුව අලූත් බද්දක් හඳුන්වා දීලත් නැහැ. එසේ නම් ඇයි මේ ඉන්ධන මිල වැඩිවුණේ කියලා ආණ්ඩුව පැහැදිලි කළ යුතුයි. මිල සූත‍්‍රය කියන මැජික් එක පෙන්නලා ජනතාවට බර පැටවීම සාධාරණීකරණය කරගන්න ආණ්ඩුව හදනවා. ආණ්ඩුව හරියට කළු කඩකාරයෙක් වගෙයි. ඉන්ධන මිල වැඩිවී තිබෙන්නේ ආණ්ඩුවේ අයකරන අසීමිත බදු නිසයි. පෙට‍්‍රල් ලීටරයක් වරායෙන් ගොඩ බාන විට මිල වන්නේ රු. 78.43යි. ආණ්ඩුවේ මුළු බදු ප‍්‍රමාණය රු. 60.63ක් වෙනවා එකතුව රු.139.06ක් වෙන අතර පෙට‍්‍රල් ලීටරය විකුණන්නේ රු. 145ටයි. රු. 5.94ක අමතර ලාභයකුත් ආණ්ඩුව ලබාගන්නවා. ඞීසල් ලීටරයක් වරායට ගොඩබාන විට මිල රු. 83.70යි. ආණ්ඩුවේ බදු රු. 32.14යි. සම්පූර්ණ මිල රු. 115.84 ක් වෙන අතර වර්තමානයේ ඞීසල් ලීටරයක මිල රු. 118ක් වෙනවා. ඞීසල් ලීටරකින් ආණ්ඩුව රු. 2.16ක තවත් අමතර ලාභයක් ලබාගන්නවා. මෙවර මිල වැඩිකිරීම වෙනුවෙන් ආණ්ඩුව ජනතාවට කියන්නේ තෙල් සංස්ථාවේ පාඩුව පියවගන්න මිල වැඩිකළා කියලයි. නමුත් පාරිභෝගිකයින් ෂෙඞ්වලින් නිකං තෙල් ගහන්නේ නැහැ. ණයට තෙල් ගහන්නේ නැහැ. සංස්ථාවේ නිලධාරීන්ගේ වංචා දුෂණ නාස්තිය නිසා සංස්ථාවට වෙන පාඩුවට ජනතාව වගකිව යුතු නැහැ. ශී‍්‍ර ලංකා ගුවන් සේවය පමණක් කෝටි ගාණක ණය ප‍්‍රමාණයක් සංස්ථාවට ගෙවිය යුතු වෙනවා. ඒවා පියවගන්නේ නැතිව ජනතාවගෙන් අයකර ගන්න එක අසාධාරණයි. ආණ්්ඩුවේ පව් කරගහන්න වෙලා තිබෙන්නේ ජනතාවටයි”.

“කණගාටුදායකම තත්වය වන්නේ තෙල් නිෂ්පාදනය කරන රටවල් කැණීම් කරලා, තෙල් ගොඩ අරගෙන පිරිපහදු කරලා, නැව්වල පටවලා, කොළඹ වරායට එවනකොටත් ඒ රටවල් අයකරන්නේ ලීටරයක රු. 78.43යි. නමුත් ලංකාවේ ආණ්ඩුව නිකං ඉඳලා පෙට‍්‍රල් ලීටරයකින් රු. 60.63ක ලාභයක් ගන්නවා. එනිසා මෙම මිල වැඩිකිරීම් සිදුකරන්නේ සාධාරණ හේතු අනුව නෙවෙයි. මෙම මිල වැඩිකිරීම නිසා අමතර ප‍්‍රශ්න ගණනාවක් මතුවෙනවා. පහුගිය 05වැනිදා ඉන්ධන මිල වැඩිකරන්න එකඟ නොවුණු ජනාධිපතිවරයා දින 2-3කින් නැවත ඉන්ධන මිල වැඩිකිරීමට එකඟ වුණේ කොහොමද? ජනාධිපතිවරයාත් ජනතාවට විහිළු සපයනවා විනා කිසිදු අරමුණකින් වැටහීමකින් තීන්දු-තීරණ ගන්නේ නැතිබව පැහැදිලියි. ඒ වගේම අද අපේ රටට ආණ්ඩුවක් නැහැ. අගමැති-ජනපති රණ්ඩුවක්, ජනපති-කැබිනට් මණ්ඩලය අතර රණ්ඩුවක් විතරයි දකින්නට තිබෙන්නේ. ඊළඟ ප‍්‍රශ්නය තමයි ආණ්ඩුව මේ මිල වැඩිකරන මිල සූත‍්‍රය පාරිභෝගිකයින් වන ජනතාව දන්නේ නැහැ. ඒ නිසා මිල සූත‍්‍රය හංගාගෙන ඉන්නේ නැතිව එළියට දාන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. ඒ වගේම ආණ්ඩුව මිල සූත‍්‍රයක් අනුව ඉන්ධන මිල වැඩිකරනවා නම් ජනතාවගේ ආදායම වැඩි කරගැනීමට සූත‍්‍රයක් හඳුන්වා දිය යුතුයි. මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල වැඩිකරන නිසා රාජ්‍ය සේවකයින්ගේ, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් මාස දෙකෙන් දෙකට වැඩි වීමට අදාළ සූත‍්‍රයක් හඳුන්වා දෙන්න කියලා අපි කියනවා. මොකද, මේ වැඩිවන ජීවන බර අනුව තමන්ගේ වැටුප කලමනාකරණය කරගන්න ජනතාවට නොහැකියි. ඒ නිසා මේ ආණ්ඩුව කරන තක්කඩි වැඬේ වහාම නතර කළ යුතුයි”.

ඉන්ධන මිල වැඩිවීම නිසා තවත් නිෂ්පාදන රැසක, සේවා රැසක මිල ඉහළ යනවා. මොකද ඉන්ධන මිල ඒ සියල්ල සමඟ බැඳී පවතිනවා. ඉන්ධන මිල වැඩිවීමෙන් පසුව මගී ප‍්‍රවාහන ගාස්තු, භාණ්ඩ ප‍්‍රවාහන ගාස්තු, ධීවර නිෂ්පාදන, කෘෂිකර්මාන්ත නිෂ්පාදන සහ කර්මාන්ත ශාලා නිෂ්පාදන බොහෝ ප‍්‍රමාණයක මිල වැඩිවෙනවා. ඒ වගේම අපේ රටේ රැුකියා කරන බොහෝ පිරිසක් භාවිත කරන්නේ යතුරු පැදියයි. පෙට‍්‍රල් මිල වැඩිවීම නිසා තමන්ගේ වැටුප කළමනාකරණය කරගන්න වැඩකරන ජනතාවට නොහැකියි. ඒ නිසා ජනතාවට බර පටවමින් ආණ්ඩුව මේ කරන සෙල්ලම තවදුරටත් කරගෙන යන්න අපේ රටේ ජනතාව ඉඩ දිය යුතු නැහැ.

පහුගිය ආණ්ඩුවලට වගේම වර්තමාන ආණ්ඩුවටත් නිශ්චිත ආර්ථික ප‍්‍රතිපත්තියක් නැහැ. මේ ආණ්ඩු කි‍්‍රයාත්මක කරන නව ලිබරල්වාදී ආර්ථික ප‍්‍රතිපත්තිවලින් රටකට ආදායමක් උපයා ගන්න බැහැ. මෙම ආණ්ඩු රටට අලූත් නිෂ්පාදන මාර්ග හැදුවේ නැහැ. කර්මාන්ත දියුණු කළේ නැහැ. ආදායම් මාර්ග අහිමි කරලා රටේ වියදම වැඩිකළා. ඇමතිවරුන්ගේ වාහනවලට, නිවාසවලට, පාර්ලිමේන්තුවේ වියදම්වලට විශාල විදිහට මුදල් නාස්ති කරනවා. ආදායම නැති නිසා දරාගන්න බැරි විදිහට ණය ගන්න සිදුවෙලා තිබෙනවා. දැන් අපේ රට ණය අර්බුදයක ගිලිලා. එම විශාල ණය දැන් පොලී සමඟ ගෙවන්න සිදුවෙලා. පහුගියදා විගණකාධිපති වාර්තාවට අනුව කියවුණේ රටේ ඒකපුද්ගල ණය ප‍්‍රමාණය දිනෙන් දින වැඩිවෙන බවයි. ඒ වගේම අපේ රට ගත්ත ණය ප‍්‍රමාණයට අනුව රටේ වත්කම් වැඩිවෙලා නැහැ. ගත්ත ණය නාස්ති කරලයි තිබෙන්නේ. එනිසා රට විශාල මූල්‍ය අර්බුදයක ගිලිලා තිබෙනවා. නිෂ්පාදන කර්මාන්ත හදනවා වෙනුවට මේ ආණ්ඩු කරන්නේ රටේ සම්පත් ටික විකුණන එකයි. හම්බන්තොට වරාය චීනයට දුන්නා. දැන් මත්තල ගුවන්තොටුපොළ ඉන්දියාවට දෙන්න යනවා. ඊට අමතරව රටේ මුදල් ඇමතිවරයා නින්දෙනුත් හීන දකින්නේ අලූතෙන් බදු ගහන්න පුළුවන් ක‍්‍රම ගැනයි. ඒ අතර තමයි වාහනයක් පාවිච්චි කරන සියලූම දෙනාට බදු ගහන්න ආණ්ඩුව තීරණ ගන්නේ. ඒ වගේම රථවාහන දඩත් වැඩිකරන්න යනවා. ආණ්ඩුව සෘජු බදු ගෙවනවා වගේම විශාල වක‍්‍ර බදු ප‍්‍රමාණයකුත් ගෙවන්න සිදුවෙලා. එකම සතා දෙවතාවක් හම ගහන වර්ගයේ වැඩ තමයි මේ ආණ්ඩුව සිදුකරන්නේ.

මේ ආණ්ඩුවලට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න කිසිදු දැක්මක් නැහැ. වංචා දුෂණ වළක්වා ගන්න වැඩපිළිවෙළක් නැහැ. නාස්තිය වළක්වා ගන්න වුවමනාවක් නැහැ. පහුගිය කාලේ කරපු හොරකම්වල පාඩුව අයකරගන්න වුවමනාවක් නැහැ. ආණ්ඩුවේ වැරදි තීරණවලට නාස්තියට දූෂණයට වන පාඩුව ජනතාව මත පැටවීමට ඉඩ දිය යුතු නැහැ. ආණ්ඩුව කළ යුත්තේ හොරකම් වංචා දූූෂණවලට සම්බන්ධ වැරදිකරුවන්ගෙන් එම පාඩුව අයකර ගැනීමයි. නමුත් ආණ්ඩුව හොරු හුරතල් කරන ගමන් පාඩු පියවා ගන්න පොදු ජනතාවට බර පටවනවා. එනිසා මේ සෙල්ලම දිගින් දිගටම කරන්න ආණ්ඩුවට ඉඩ දිය යුතු නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අපි තෙල් මිල වැඩිකිරීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනවා. හෙට දිනයේ එය හවස 5ට මහරගම නගරයෙන් ආරම්භ කරනවා. ලබන 16වැනිදා සහ 17වැනිදා දෙදින තුළදී රට පුරාම උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරනවා. අපි රටේ ජනතාවට කියනවා මෙම අසාධාරණ ලෙස වැඩි කළ ඉන්ධන මිල අඩුකර ගැනීම සඳහා ආණ්ඩුවට විරෝධය පළ කිරීමට මෙම උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග සමග එකතු වෙන්න කියලා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.