මැර ප්‍රහාරයට ලක්‌වූ ශල්‍ය වෛද්‍යවරයා නැතිව අනුරාධපුර ස්‌නායු ශල්‍ය දැඩි සත්කාරය වැසෙයි

විශ්වවිද්‍යාල සිසුන් පිරිසක්‌ පහරදීමෙන් තුවාල ලබා සිටින ස්‌නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා සේවයට වාර්තා කිරීමට තවත් කල් ගතවීම නිසා අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකය වසා දැමීමට සිදුවීමෙන් රෝගීහු අටසියයකට අධික පිරිසක්‌ දැඩි අපහසුතාවට පත්වී සිටිති.

පසුගිය 3 දා පේරාදෙණිය ගලහ මාර්ගයේ හිල්ඩා ඔබේසේකර මාවතේදී පේරාදෙණිය සරසවි සිසුන් පිරිසකගේ ප්‍රහාරයට ලක්‌වීමෙන් බරපතළ තුවාල ලැබූ ස්‌නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරලගේ මහතා මහනුවර හා කොළඹ ජාතික රෝහල්වල ප්‍රතිකාර ලැබීය.

ඉතා සියුම් ශල්‍ය කර්මවල නිරත වන ඒ මහතාගේ, දකුණු අත අඹරා මෝටර රථයෙන් ඇද දමා පහරදීම නිසා වෛද්‍ය කෝරලගේ මහතාට සැත්කම් සිදුකිරීමේ දැඩි අපහසුතාවක්‌ ඇති වී තිබේ. තවත් මාස දෙකකට ආසන්න කාලයක්‌ ඔහුගේ අත සුවකර ගැනීමට ගතවේ යෑයි අනුරාධපුර රෝහල පවසයි.

අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, වවුනියාව, යාපනය හා මන්නාරම වැනි ඉතා දුර බැහැර දිස්‌ත්‍රික්‌කවල ස්‌නායු රෝගීන්ට ඒ මහතා විසින් ප්‍රතිකාර ලබාදුන් අතර, දින නියම කළ ශල්‍යකර්ම සියල්ල ඇනහිට තිබේ. හදිසි අනතුරුවලදී හිසට අනතුරු සිදුවන රෝගීන්ගේ කිසිදු ප්‍රතිකාර කටයුත්තක්‌ මේ වනවිට අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සිදු නොවීම නිසා අසාධ්‍ය රෝගීන් කොළඹ ජාතික රෝහලට යෑවීමට සිදුව තිබේ.

මොළයේ පිළිකා සුෂුම්නාව ඇතුළු සියුම් ස්‌ථානවල හටගන්නා රෝගවලට ඒ මහතා විසින් සැත්කම් කරනු ලැබේ. වෛද්‍යවරයා නොමැති වීමෙන් අසරණ වී සිටින රෝගීහු විශාල පිරිසක්‌ ඒ මහතාට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරති. සුෂුම්නාවේ ආබාධයක්‌ නිසා පීඩා විඳින සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළ චමින්ද දිසානායක මහතා මෙසේ පැවැසීය.

මම සේවයේ නිරත වෙද්දී ඔයාමඩුව දුණුමඩලාව ප්‍රදේශයේදී අලි රංචුවකට මැදිවෙලා තුවාල ලැබුවා. ඉන් පසු මට ශරීරයේ කිසිම අවයවයක්‌ වැඩ කරන බවක්‌ දැනුනේ නෑ. වතුර පිපාසයක්‌, වැසිකිළි යැමක්‌, මුත්‍ර පිටවීමක්‌ පිළිබඳව මා දන්නේ නෑ. නමුත් එතුමා මට ප්‍රතිකාර කළා. එක්‌තැන් aවෙලා හිටපු මට අද නැගිට ගන්න පුළුවන්. නමුත් තවත් ශල්‍යකර්මයක්‌ සඳහා එතුමා මට දින දුන්නා.

නමුත් අද එතුමාට රාජකාරි කරන්න එන්න විදියක්‌ නැති නිසා අපි අන්ත අසරණ වෙලා. සර් සියුම් ඔපරේෂන් කරලා කී දෙනෙක්‌ සුවපත් කළාද? මොළේ වතුර ගෙඩි සුෂුම්නාව ගෙල ආශ්‍රිත රෝගීන් සිය ගණනක්‌ මේ සිද්ධිය නිසා අසරණ වෙලා ඉන්නේ. අපි එතුමාට ඉක්‌මන් සුවය ප්‍රාර්ථනා කරලා බෝධි පූජා පැවැත්වුqවා.

තවත් මාස දෙකකට අධික කාලයක්‌ යොහාන් කෝරලගේ වෛද්‍යවරයාගේ සේවය ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය දුලාන් වීරවර්ධන මහතා පැවසීය.

මැර ප්‍රහාරයට ලක්‌ වූ අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ස්‌නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන විශේෂඥ ස්‌නායු වෛද්‍ය යොහාන් කෝරලගේ මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.

මම තාමත් රෝගීව සිටින්නේ. නමුත් දැන් සියයට හැටක්‌ සුවයි. ඒත් සියුම් ශල්‍ය කර්ම සිදුකිරීම සඳහා තවමත් මම මානසික හා කායික සුවයකින් නෑ. මගෙන් ප්‍රතිකාර ගත්ත රෝගීන් දහස්‌ ගණනක්‌ අන්ත අසරණ වෙලා ඉන්න බව දන්නවා. මගේ රාජකාරිය භාවනාවක්‌. බොහොම සියුම් ප්‍රතිකාර තියෙන්නේ. එක ඔපරේෂන් එකකට පැය හත අටක්‌ යනවා. සිසුන් මගේ අත අඹරලා මෝටර් රථයෙන් ඇදලා පහර දෙන්න උත්සාහ කළා.

මම හිතුවේ මාව මරයි කියලා. මේ සිද්ධිය නිසා මා මානසිකව පීඩා විඳිනවා. මම නිහඬව රෝගීන් වෙනුවෙන් වැඩ කරපු අයෙක්‌. මම නිකන් ගෙදරට වෙලා ඉන්න කැමැති නෑ. මට සහයට කෙනෙක්‌ ලැබුණොත් තව මාස දෙකක්‌ විතර යද්දී රෝගීන් වෙනුවෙන් නැවත ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. මා වෙනුවෙන් වෛද්‍ය සංගම් වැඩ වර්ජනයන් කරන්නත් සූදානම් වුණා. නමුත් ඒවා අතහරින්න කියලා මං දැනුම් දුන්නා.

-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *