තිලංගගේ ක්‍රිකට් මාෆියාවට එරෙහිව අර්ජුන සහ අරවින්ද කට අරිති

ඡන්ද පදනමක්‌ නැති පස්‌සා දොරෙන් ආණ්‌ඩුවට රිංගාගත්තු බුකීකාරයින් නඟන බොරු චෝදනාවලට තමන් නොසැලෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග මහතා ඊයේ (31) සිය අමාත්‍යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාද සහභාගි විය.

ශ්‍රී ලංකාවේ පළමුවරට ක්‍රිකට්‌ තරග පාවාදීමේ චෝදනා එල්ල වූයේ අර්ජුන රණතුංග සහ අරවින්ද ද සිල්වා යන ක්‍රීඩකයන්ට බවට පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා විසින් නඟන ලද චෝදනාවකට පිළිතුරු දීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබිණි.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති අර්ජුන රණතුංග මහතා,

1994 ලක්‌නව් ක්‍රිකට්‌ තරගයකදී එල්ලවූ චෝදනාවක්‌ සම්බන්ධයෙන් ලෝක ක්‍රිකට්‌ කවුන්සිලය මගින් මාත් අරවින්දත් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක්‌ පවත්වන්නට යෙදුණා. මෙම පරීක්‍ෂණය සිදුකළේ රාජ්‍ය නීතිඥ ඩෙස්‌මන්ඩ් ෆනෑන්ඩු නමැත්තකු විසිනුයි.

එවකට ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ සභාපති ලෙස කටයුතු කළේ තිලංග සුමතිපාල. ඔහු අප වෙනුවෙන් නියෝජනයක්‌ කරන බව කීවත් අප පෞද්ගලිකවම නීතිඥවරුන් මාර්ගයෙන් එම පරීක්‍ෂණයට මුහුණ දුන්නා. අධිනීතිඥ එල්.එල්. ගුණසේකර, නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස ඇතුළු නීතිඥවරු 40 ක-50 ක පමණ පිරිසක්‌ අප වෙනුවෙන් පෙනී සිටියා. පසුව එම පරීක්‍ෂණයෙන් මාත් අරවින්දත් නිදොස්‌ කොට නිදහස්‌ කරනු ලැබුවා. ඒක මුළු රටම දන්න කාරණයක්‌.

එම සිදුවීමෙන් අවුරුදු 15 කට 20 කට පසුව මෙලෙස එම චෝදනා යළි ගෙන එන හේතු අප දන්නවා.

ශ්‍රී ලංකාවේ පළමු වරට දේශීය තරග පාවාදීම්වලට ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයේ ලේකම්වරයාගේ කණ්‌ඩායම අහුවුණා. ඊට දඬුවම් දෙනවා කිව්වා. කෝ….? මේ ගොල්ලෝ වීදුරු ගෙවල්වල ඉඳගෙන ගල් ගහන්න හදනවා.

යහපාලන රජය කාලේ ක්‍රිකට්‌ ක්‍රීඩාව කඩාවැටෙන්න මේ බුකීකාර සූදුකාරයන්ගේ අයහපත් ක්‍රියා බලපෑවා. දැන් ඉන්න ක්‍රීඩා ඇමැතිවරයාගේ විෂය පථයට ක්‍රිකට්‌ අයිතිද කියන සැකය මතුවෙනවා. දඹුල්ලේ තණ තීරු පරීක්‍ෂාවට ක්‌ලබ්වල ක්‍රිකට්‌ ගහපු නුසුදුසු අය යන්නේ කොහොමද? ක්‍රීඩා ඇමැතිවරයා මේ ගැන බලන්නේ නැද්ද?

පසුගිය මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුව කාලේ ක්‍රීඩා ඇමැතිව සිටි මහින්දානන්ද අලුත්ගමගේ නීතිය හරියට ක්‍රියාත්මක කළා.

අපට දේශපාලන පක්‍ෂයක්‌ අවශ්‍ය නැහැ. ක්‍රිකට්‌ ක්‍රීඩාව නන්වන්න ඕනෑම සහයෝගයක්‌ දෙන්න සූදානම්. ජනාධිපති මෛත්‍රිපාල මහතා එවකට මට කිව්වා “ක්‍රීඩා ඇමැතිකම ගන්න” කියලා. මම එය ප්‍රතික්‍ෂේප කළා. සූදුකාරයන් සමඟ එය කළ නොහැකි නිසා.

තවමත් අප රටේ ක්‍රිකට්‌ ක්‍රීඩාව ගොඩගන්න පුළුවන්. ඒ සඳහා ක්‍රීඩා ඇමැතිවරයා ප්‍රමුඛව කටයුතු කළ යුතුයි. එදා අප ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට රටේ ජනතාව ආදරය කළා. අප ගැන ලොකු විශ්වාසයක්‌ ජනතාවට තිබුණා. අද ඒ තත්ත්වය නැතිවෙලා තියෙන්නේ නොමනා ඇඟිලි ගැසීම් නිසයි. ඒ තත්ත්වය යළි ඇතිකරන්න ඕනෑම සහයෝගයක්‌ දෙන්න සූදානම් යෑයි පැවැසීය.

මාධ්‍යයට අදහස්‌ දැක්‌වූ හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා,

මම දේශපාලනඥයන් කියන කතා ගණන් ගන්නේ නැහැ. ඒ කනෙන් අහලා මේ කනෙන් පිට කරනවා.

මම ක්‍රිකට්‌ තේරීම් කමිටුව නියෝජනය කළා කාලයක්‌. එහිදී කාටවත් යර්ස්‌ (yes) කියන්න කැමති වුණු කෙනෙක්‌ නෙමෙයි. කෙලින් තීන්දු ගත්ත කෙනෙක්‌. ජනාධිපතිට වුණත් මම කිවයුත්ත කෙළින් කියනවා.

ක්‍රිකට්‌ තේරීම් කමිටුවේ නියෝජනය වෙනුවෙන් මට ලැබුණු මුදල් චෙක්‌පත් පවා මම ප්‍රතික්‍ෂේප කළා (අදාළ චෙක්‌පත් ප්‍රතික්‍ෂේප කළබවට දැක්‌වෙන ලිපියක්‌ පෙන්වයි)

අපි ක්‍රිකට්‌වලට ආදරෙයි. ඕනෑම අවස්‌ථාවක ක්‍රිකට්‌ ක්‍රීඩාවේ දියුණුවට, දැන් වුණත් හැකි සෑම උදව්වක්‌ම කරන්න මා සූදානම්.

මට කාගෙන්වත් මුදල් ගන්න ඕනෑ නැහැ. ඔය කරන චෝදනාවට අප නිදොස්‌ කොට නිදහස්‌ කළා යෑයි පැවැසීය.

මෙහිදී මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අරවින්ද ද සිල්වා මහතා-

ප්‍රශ්නය- 1991 වර්ෂයේදී ඔබට එච්.කේ. ගුප්තා නමැත්තා මුණගැසී තිබෙනවාද?

අරවින්ද- නැහැ. එවැනි අයෙක්‌ මුණගැසුණු බවක්‌ දන්නේ නැහැ. නමුත් මෙරටදී මෙන්ම පිටරටදී මට ඕනෑ තරම් අය මුණගැහෙනවා. ඒ ගැන මම එතරම් හොයන්නේ නැහැ.

කෙසේ වෙතත් අන්තර් ජාලයේ දැක්‌වෙන “සී.බී.අයි.” වාර්තාවට අනුව 1991 වර්ෂයේදී මනෝඡ් ප්‍රභාකර් විසින් එම්.කේ. ගුප්තාට අරවින්ද ද සිල්වා හඳුන්වා දුන් බවත් අරවින්ද ද සිල්වා විසින් එම්.කේ. ගුප්තාට මාර්ටින් ක්‍රෝ හඳුන්වා දුන් බවත් දැක්‌වේ. නමුත් එහි අරවින්ද සහ එම්.කේ. ගුප්තා සම්බන්ධව මුදල් ගනුදෙනුවක්‌ පිළිබඳව සඳහන් නොවේ. තවද මනෝඡ් ප්‍රභාකර් නමැත්තා විසින් බ්‍රයන් ලාරා යන අය එම්.කේ. ගුප්තාව සහ රණතුංග හඳුන්වා දුන් බවත් ඒ අයට මුදල් නොගෙවූ බවත් සීඅයිබී වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *