සුද්දෝ අපට රට බාරදීලා යනකොට ලෝකෙට සත පහක් ණය තිබුණේ නෑ

මහා ණය කන්දකට හිරවී සිටින අපේ රට මේ වෙනකොට කොපමණ ණය මුදලක් ගෙවීමට ඇත්දැයි කිසිවකුත් නොදන්නා බවත්, ජනාධිපති හා අගමැතිවත් එය නිවරැදිව නොදන්නා බවත් හැකි නම් එම මුදල කොපමණ දැයි හෙළිකරන ලෙස තමා එම දෙපළට අභියෝග කරන බවත් දකුණු පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි නලීන් හේවගේ පැවැසීය.

හෙතෙම එසේ පැවැසුවේ තෙලිකඩ ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

ඡන්දයක් නැති කාලෙකත් ජනහමු දසදහසක් තියෙන්නේ ඇයි කියලා සමහරු අපෙන් අහනවා. ඡන්දේ කාලෙට මිනිස්සුන්ගේ ඔළු අවුල්වෙලා තියෙන්නේ. ඒ නිසා ඔළුව නිරවුල්ව තියෙන කොට කියන දේවල් තමයි වැටහෙන්නේ. මේ ජනහමු මාලාව ඉවරවෙලා අපි පුළුල් ජනතා පෙරමුණක් ගොඩනඟනවා. අද රටේ ඉන්න ගරු කටයුතු විද්වතුන්ගෙන් සමන්විත කමිටුවකින් ඒ පුළුල් පෙරමුණ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් තියෙන්නේ. ඒ ප්‍රතිපත්තීන් අරගෙන අපි ජනවාරි වෙනකොට නැවතත් ඔබ හමුවට එනවා.

අපි අවුරුදු 400ක් සුද්දට යටත් වෙලා හිටියා. ඒත් ඒ අවුරුදු 400ටම අපි එක සතයක්වත් කාටවත් ණය වෙලා තිබුණේ නැහැ. 48දී අපට නිදහස ලැබුණා. එදා ඉඳලා අවුරුදු 70ක් මේ රට පාලනය කළේ පක්ෂ දෙකක්, එක පන්තියක් විසින්. මේ මුළු කාලය තුළම රටේ එකම ප්‍රශ්නයකටවත් උත්තර දෙන්න මේ දෙගොල්ලටම බැරි වුණා. අද මුළු රටම පිරිහිලා. රටේ ජනතාවට කාලබීලා ඉන්න පුළුවන්ද? බඩු මිල දරාගන්න බැහැ. අධ්‍යාපනය කඩා වැටිලා. නිදහස් අධ්‍යාපනයක් නැහැ.පාසල් වැහිලා.

විශ්වවිද්‍යාලවල ප්‍රශ්න. ඒ ළමයි හැමදාම පාරේ. ඉගෙන ගත්ත අයට රැකියා තියෙනවාද? රැකී රක්ෂා ප්‍රශ්නය උග්‍ර වෙලා. ලෙඩට දුකට බෙහෙතක් හේතක් ගන්න පුළුවන්ද?

නිදහස සෞඛ්‍ය සේවයක් තියෙනවාද? ගමක් ගත්තත් අඩියෙන් අඩියට ෆාමයි. හැම නගරයකම පෞද්ගලික රෝහල්. සල්ලි තියෙන අයට නම් සෞඛ්‍ය ප්‍රශ්නයක් නැහැ.

ආණ්ඩුව නම් කියනවා සෞඛ්‍ය ප්‍රශ්නය විසඳලා කියලා. මිනිස්සුන්ට ගමන් බිමන් යන්න හොඳ ප්‍රවාහන සේවයක් තියෙනවාද? යාන වාහන ගමන් කරන මාර්ග හරියට සංවර්ධනය වෙලාද? ජාතික සමඟිය ඇති කළාද? නෑ. ජාති භේදය නම් ඇති කරලා තියෙනවා. එකිනෙකා කා කොටා ගන්නා තරමට දැන් ප්‍රශ්නය උග්‍ර කරලා.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.