අධිකරණයට අපහාස කළ බවට චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් චීවරදාරී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව නියම කළේය. අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්රීති පද්මන් සූරසේන ශිරාන් ගුණරත්න යන විනිසුරුවරු විසින් මෙම තීන්දුව ලබා දුන්නේය.
තීන්දුව දෙමින් විනිසුරුවරු සඳහන් කර සිටියේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 ටම උන්වහන්සේ වරදකරු කරන බවයි.
ඒ අනුව මෙම දඬුවම් නියම කළ අභියාචනාධිකරණය මෙම තීන්දුව පිළිබඳව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයා වෙත දැනුම් දෙන මෙන්න නියම කළේය.
තීන්දුව ප්රකාශයට පත් කරන අවස්ථාවේදී වගඋත්තරකරු ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී නොසිටි අතර උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ උන්වහන්සේ අසනීප වී ශ්රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවයි.
කෙසේ වෙතත් මේ වන විට ඉහින් බසින තරමේ රෝගයක් නොමැති ඥානසාර හිමි කුප්රකට රෝහල් අධ්යක්ෂවරයෙකු යටතේ පාලනය වන ශ්රී ජයවර්ධන පුර රෝහලට රිංගා ගෙන සිටින අතර මෙය බන්ධනාගාර ගත වීමෙන් බේරීමට දරන කුප්රකට සැලැස්මක් බව පැහැදිලිය.
මෙහිදී ඥානසාර හිමි වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා එම අභියාචනයේ තීරණයක් ලැබෙන තුරු ඥානසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යන ලෙස දැනට කර ඇති නියෝගය අත්හිටුවන මෙන් ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත නොහැකි බවත් එය ප්රතික්ෂේප කරන බවත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් විවෘත අධිකරණය සඳහන් කළේය.