හිරේ ගිය ඥානසාර හිමි රටට දුන් පණිවුඩය..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතා අතුරුදන් කරවීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල විභාගයට ගැනුණු 2016 ජනවාරි 26වැනි දා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ගිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මියට අප්‍රසන්න අත්දැකීමකට මුහුණපෑමට සිදුවූවා ය. එදින අධිකරණය ට පැමිණි බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විසින් නඩුවේ සැකකරුවන් වූ යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 9 දෙනා යළි රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට බැණවැදී ඔහු ලබාදුන් රිමාන්ඩ් නියමයන් විවේචනයට ලක්කරන ලද්දේ අධිකරණයේ නඩු කටයුතු මෙහෙයවෙමින් පැවති අවස්ථාවේ ය. එපමණක් නොව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥවරයාට මරණ තර්ජන එල්ල කර එ් හිමිනම අධිකරණය තුළ හැසුරුණු නොහොබිනා ආකාරයට ඉතිහාසයේ මෙතුවක් කල් මෙරට කිසිදු ගිහියකු හෝ පැවැද්දකු හැසිර නැතිවාට සැක නැත.

ඉන් නොනැවතුණු ඥාණසාර හිමි අධිකරණයේ සිටි සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය අසලට ගොස් බැණ මරණ තර්ජනය කර සාපරාධී බියගැන්වීමක් සිදු කළේ මහේස්ත්‍රාත්වරයා හෝ අධිකරණය හෝ නීතිය තඹ දොයිතුවකට මායිම් නොකරමිණි. විවිධ තර්ජන ගර්ජන මධ්‍යයේ හෙට දවස ගැන බියෙන් දරුවන් දෙදෙනා සමඟ ජීවත් වූ සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් තමාව සාපරාධී බිය ගැන්වීමකට ලක් කළ ඥාණසාර හිමිට එරෙහිව හෝමාගම පොලිසියේ පැමිණිල්ලක් කරන අතර, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ද එ් හිමිනමට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කළේය.

කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කියන්නාක් පරිද්දෙන් ඥාණසාර හිමි කළ දේ පස්සෙන් පන්නන්නට ගත්තේ මුලින්ම සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය ගොනු කළ පැමිණිල්ලට අදාළ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු අවස්ථාවේදීය. උන්වහන්සේට එරෙහි චෝදනාවන්ට ඥාණසාර හිමි වරදකරු බව තීරණය කළ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මාස 6කින් ගෙවී යන පරිදි වසරක සිරදඩුවමක් එහිදී නියම කළේය. ‍මේ දඩුවමට අමතරව රුපියල් 3000ක දඩයක් ඥාණසාර හිමිවෙත නියම කළ මහේස්ත්‍රාත්වරයා අගතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය වෙත රුපියල් 50000ක වන්දියක් ගෙවන ලෙස ද එම හිමිනමට නියෝග කළේය.

ඥාණසාර හිමි බන්ධනාගාරගතව සිටින අවස්ථාවේ සමාජය තුළ විවිධ කතිකා නිර්මාණය වූ අතර කෙසේ වෙතත් උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කොට එ් හිමිනම වෙත ඇප නියම කරවා ගැනීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව ඉකුත් 8වැනිදා එවකට හෝමාගම මහේස්ත්‍රාත් සහ වත්මන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අභියාචනාධිකරණය වෙත කර තිබූ පැමිණිල්ලේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

එහිදී ඥාණසාර හිමි නම වෙත අධිකරණයේ ආධිපත්‍යට සහ ගරුත්වයට අභියෝග කිරීම, අගෞරව කිරීම සහ අවමන් කිරීම, අධිකරණය තුළ අනර්ථකාරී ලෙස හැසිරීම, පරුෂ වචනයෙන් රජයේ නීතීඥවරයකුට අපහාස කිරීම සහ අධිකරණයේ බල අධිකාරියට අභියෝග කිරීම යන චෝදනා හතර යටතේ බරපතල වැඩ සහිතව වසර 6කින් ගෙවී යන පරිදි වසර 19ක සිරඳඩුවමක් අභියාචනාධිකරණය

විසින් නියම කරන ලදී. එ් තීන්දුව ප්‍රකාශයට පත්කරන ලද්දේ අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල විසිනි.

මේ චෝදනා හතරට සිරදඩුවම් නියම කෙරී තිබුණේ

1.පළමුවැනි චෝදනාවට බරපතල වැඩසහිත වසර 4ක සිරදඩුවමක්

2.දෙවැනි චෝදනාවට බරපතල වැඩ සහිත වසර 4ක සිරදඩුවමක්

3.තෙවැනි චෝදනාවට බරපතල වැඩසහිත වසර 6ක සිරදඩුවමක්

4.සිව්වැනි චෝදනාවට බරපතල වැඩසහිත වසර 5ක සිරදඩුවමක් යන ආකාරයට ය.

අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත්කරන ලද එ් තීන්දුව පිටු 53කින් සමන්විත ලියවිල්ලකි. එහි ඇති වැදගත් කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

විත්තිකාර හිමිනමට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව ගොනු කළ චෝදනා හතරට අදාළ ව සිදු කෙරුණු නඩු විභාගයේදී පාර්ශ්ව දෙකම සාක්ෂිකරුවන් ඉදිරිපත් කොට තිබේ. කිරම දේවින්ද සහ පිටිගල ධම්මදින්න යන හිමිවරු විත්තිකාර ඥාණසාර හිමි වෙනුවෙන් සාක්ෂි ලබා දුන්හ. එ් සාක්ෂි ලබාදීම් වලදී විත්තිකාර හිමිනම සුද්දාගේ නීතිය පිළිනොගන්නා බව උක්ත දිනයේදී අධිකරණය තුළදී ප්‍රකාශ කිරීම මඟින් අධිකරණයට අපහාස කිරීමට අරමුණු කරගෙන නොවන බව සඳහන් විය. මේ සාක්ෂි පිළිගත නොහැකි බව අභියාචනාධිකරණය තීරණය කළේ ඉදිරිපත් වූ අනෙකුත් කාරණා සමඟ සංසන්දනය කිරීමේදී එ් හිමිවරුන් දෙදෙනා ලබා දී තිබූ සාක්ෂිවල පරස්පරතා තිබූ බැවිණි. ඒ අනුව එ් සාක්ෂි මඟින් තොරතුරු වසන් කොට ඉදිරිපත් කර ඇති බව අභියාචනාධිකරණ තීන්දුවෙහි සඳහන් වේ. මේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට ප්‍රථම අධිකරණයෙහි කරුණු දක්වා තිබූ විත්තිකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා පවසා තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(1) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියකට අදාළ ව දඩුවම් කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බැවින් මේ චෝදනා විභාගය නතර කිරීමට නියෝගයක් නිකුත් කර තම සේවාදායකයා අදාළ චෝදනාවලින් නිදහස් කරන ලෙසයි. විත්තිකාර හිමිනම විසින් හෝමාගම මහේස්ත්‍රාත්වරයා අමතා ඇත්තේ සැකකරුවන් 9දෙනෙකු රිමාන්ඩ් බාරයට පත්කරන ලෙස නියෝග කිරීමෙන් අනතුරුව වන අතර එහිදී උන්වහන්සේ එම තීන්දුව වෙනස් කර සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඉල්ලා කෑකෝ ගසා අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වී ඇති බව ඒ සම්බන්ධයෙන් පිළිතුරු සපයා ඇති අභියාචනාධිකරණය සිය තීන්දුවේ සඳහන් කර තිබුණි.

ඒ නිසා විත්තිකාර හිමිනම අධිකරණ ක්‍රියාවලියකට මැදිහත්වීම හරහා අධිකරණයට අපහාස කර ඇති බවට ප්‍රමාණවත් අයුරින් සාක්ෂි ඉදිරිපත් වී ඇති බව ද එම තීන්දුවෙහි සඳහන් වේ. ඊට අමතරව විත්තිකාර හිමිනමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලු චෝදනා කිසිදු සැකයකින් තොරව ඔප්පු වන වී ඇති බව අධිකරණයේ මතය යැයි ද එ් තීන්දුවේ සඳහන් ය. අසනීප තත්ත්වයක් නිසා රෝහල්ගතව සිටීම හේතුවෙන් ඥාණසාර හිමි අභියාචනාධිකරණයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා එ් තීන්දුව පැය 48ක් ඇතුළත ඥාණසාර හිමි වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද නියම කෙරිණි. තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා මේ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන නිසා එහි තීන්දුව ලැබෙන තෙක් ඥාණසාර හිමි බන්ධනාගාරය වෙත රැගෙන නොගොස් දැනට ප්‍රතිකාර ලබන රෝහලේ රඳවා තබන ලෙස විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. එ් ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය පවසා සිටියේ නඩු තීන්දුව සම්බන්ධයෙන් අගෝස්තු 21වැනි දින අදාළ අභියාචන ඉදිරිපත් කරන ලෙස ය.

-දිනමිණ-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.