පිළිකාකාරයක් වන ග්ලයිෆෝසේට් මඟින් වඳභාවය, සිරෝසිස්, ඔටිසම් ඇතුළු රෝග රැසක්! වෛද්‍යවරු දැඩිව තහවුරු කරති; ඔබත් ගොදුරක්ද..? වහාම තහවුරු කරගන්න.

ජාත්‍යන්තර පරීක්ෂණ මඟින් පිළිකා කාරකයක් බව තහවුරු කරන ලද ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුළින් පිළිකාවලට අමතරව ස්ත්‍රී පුරුෂ වඳ භාවය, සිරෝසිස්, ඔටිසම්, මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවීම මඟින් ඇතිවන ඩෙමින්ට්‍රියා හෙවත් අමතක වීමේ රෝගය ඇතුළු රෝග රැසක් ඇති වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය “ග්ලයිෆෝසේට් තහනම ඉවත් කිරීමේ රජයේ අමනෝඥ තීරණය” සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ(14) අනාවරණය කර සිටියහ.

පසුගියදා ග්ලයිෆෝසේට් අඩංගු වල්නාශක තුලින් සමාජයට වන බලපෑම පිළිබඳ විද්වත් දේශනයක් ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය(SLMA) තුලදි පවත්වන ලදි.

දේශකයා ශ‍්‍රී ලාංකික වෛද්‍ය මහචාර්ය සරත් ගුණතිලක මහතාය. ඒ මහතා දැනට ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ධුරයක් හොබවයි. ජාත්‍යන්තර වශයෙන් පිලිගැනිමක් සහිත මෙම විෂය පිළිබඳ පුලුල් අධ්‍යයනයක් කර ඇති මහාචාර්ය සරත් ගුණතිලක මහතා එහිදි ඉදිරිපත් කල කරුණු ලොමු දැහැ ගැන්වෙන සුලුය.

දේශනයට සවන්දීම සඳහා ගරු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙන්ම මෙම විෂය පිළිබඳ විශාල උනන්දුවකින් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රි පුජ්‍ය අතුරලියේ රතන හිමි පැමිණ සිටි අතර ග්ලයිෆෝසේට් විෂය සම්බන්ධ උනන්දුවක් දක්වන විශාල විද්වතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් ඉතා සංවාදශීලි ලෙස මෙම දේශනය පවත්වන ලදි.

දේශනයේදි තහවුරු වු පහත කරුණු පිළිබඳ රටක්, සමාජයක් වශයෙන් අපගේ සුවිශේෂි අවධානය යොමු විය යුතුය.

1. වසර 1961 දී ග්ලයිෆෝසේට් නම් රසායනිකය සොයා ගැනීමත් සමග එහි වල්නාශක ගුණය තහවුරු කිරීම සඳහා එයට එක් කරන ලද අමතර විෂ රසායනික සංඝටක මගින් ග්ලයිෆෝසේට් වල විෂ සහිත බව සිය දහස් ගුණයකින් ඉහළ නංවා ඇත. ඒ බව මේ වන විට පරීක්ෂණාත්මකව තහවුරු වී ඇත.

2. ග්ලයිෆෝසේට් කොතරම් විෂ සහිත ප‍්‍රභල රසායනයක්ද යන වග තහවුරු වනුයේ මුල් කාලයේ මෙම රසායනිකය භාවිතා කලේ ඊයම් හා ලෝහ නල වල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා වීමයි.

3. 1970 දශකය වන විට මෙහි වල්නාශක ගුණය තහවුරු වු අතර ඇමරිකන් මොන්සැන්ටො ආයතනය මගින් මෙය වාණිජමය වශයෙන් වල්නාශකයක් ලෙස නිපදවීම ආරම්භ කරන ලදි.

4. ග්ලයිෆෝසේට් හැරුණු විට වෙනත් බොහෝ වල්නාශක පසට යෙදු විට ශාකයේ මුල් හරහා උරා ගෙන ශාකයේ ප්‍රෝටින් සංස්ලේෂණ ක‍්‍රියාවලිය අත්හිටුවා ශාකය මරණයට පත් කරයි. නමුත් ග්ලයිෆෝසේට් සමස්ථ ශාකයේ පත‍්‍ර මෙන්ම අනෙකුත් කොටස් වලින්ද අවශෝෂණය වී ක්ෂණිකව ශාකය පුරා පැතිරෙයි. එය වල්නාශකයක් ලෙස ජනප‍්‍රිය වී තහවුරු වීමට මෙම කරුණු දැඩිලෙස උදව් වී ඇත.

5. මොන්සැන්ටෝ ආයතනය මුල සිටම තම නිශ්පාදනය පිළිබඳ වැරදි මත ජනගත කරන ලදි. අද වන විට ඒ සියල්ල මුසාවන් බව තහවුරු වී ඇත. ඉන් ප‍්‍රධානතම මුසාව නම් ග්ලයිෆෝසේට් වල බලපෑම එල්ල වනුයේ ශාක වලට පමණක් බවයි. මොන්සැන්ටෝ ප‍්‍රකාශ කල පරිදි සත්වයන්ට එහි කිසිදු බලපෑමක් නොමැත. මෙය පට්ටපල් මුසාවක් බව අද ලොවම පිළිගනියි.

6. ග්ලයිෆෝසේට් තව දුරටත් තහවුරු වීමට බලපාන ප‍්‍රධාන කරුණු නම් කුමන්ත‍්‍රණකාරි හරිත විප්ලවය නම් සාධකය සමග පසු කාලීනව එළියට ආ ජාන විකෘති කරන ලද භෝග වගාවයි.

ලෝක කුසගින්න තුරන් කිරීමටත්, භෝග අස්වැන්න වැඩි කිරීමටත් ජාන තාක්ෂණය ඉවහල් වන බව මෙම කූඨ අරමුණු සහිත සමාජ කණ්ඩායම් අවධාරණය කරන ලදි.

කෙසේ නමුත් අවසානයේ සිදු වුයේ කුමක්ද? ජාන තාක්ෂණය භාවිතා කරමින් ඔවුන් විසින් ග්ලයිෆෝසේට් වලින් මිය නොයන තිරිගු සෝයා වැනි භෝග වර්ග කෘතිම ලෙස නිශ්පාදනය කරන ලදි.

ඒ අනුව ඉතා නිදහස් ලෙස ගුවනේ සිට පවා ග්ලයිෆෝසේට් වගාවට යෙදිමට හැකියාව ලැබුණු අතර ලෝක කුසගින්න අද වන විටත් ඉතිරිව ඇත.

7. මොන්සැන්ටෝ හි මෙම වැරදි ප‍්‍රචාරක වැඩ පිලිවෙලට එරෙහිව ලෝකය පුරා විවිධ රටවල (ඇමරිකාව, ප‍්‍රංශය, බ‍්‍රසිලය) නීතිමය කටයුතු ආරම්භ කරන ලදි. මේ සෑම නඩුවකදීම තම ප‍්‍රචාරක වැඩ කටයුතු වලින් තාවකාලිකව ඉවත් වීමට මොන්සැන්ටෝ ඉදිරිපත් විය. නමුත් කිසිදු විටක වරද පිලිගැනිමට තරම් ඔවුන් නිහතමානි නොවිය.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සැන් ෆැන්සිස්කෝ දිස්ත‍්‍රික් උසාවියේ පමණක් ග්ලයිෆෝසේට් වලට එරෙහි නඩු 400 කට අධික ප‍්‍රමාණයක් විභාග වෙමින් පවති.

8. මේ සියලු තත්ත්වයන් මතද ලොව පුරා ග්ලයිෆෝසේට් භාවිතය දශක කිහිපයක් ඇතුලත 15 ගුණයකින් ඉහල නංවා ගැනිමටත්, ඒ හරහා කෝටි ප‍්‍රකෝටි ගණනක ලාභයක් ලැබිමටත් ග්ලයිෆෝසේට් නිපදවන මොන්සැන්ටෝ සමාගමට හැකියාව ලැබි ඇත්තේ ඉතා කූඨ ලෙස විද්‍යාඥයින්, දේශපාලනඥයින් ඇතුලු වෙනත් කණ්ඩායම් සඳහා මුදල් අල්ලස්ද ලබා දෙමිනි.

ඒ හරහා සමහරක් විද්‍යාත්මක පර්යේෂණ වල දත්ත පවා වෙනස් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

9. අද වන විට ලෝකය පුරා ආහාර දාමයන් හා ආහාර ජාලයන්හි සෑම ස්ථරයක්ම ග්ලයිෆෝසේට් සාන්ද්‍රණයක් සහිත බව තහවුරුව ඇත. ඒ හරහා මිනිස් සිරුරටද ඉතා නිර්ලෝභි ලෙස ග්ලියිෆෝසේට් ඇතුලත් වී ඇත.

මිනිස් සිරුරේ මව් කිරි හා මුත‍්‍රා හරහා ග්ලයිෆෝසේට් බැහැර වන අතර, සියලු ජල මුලාශ‍්‍රයන්ද ග්ලයිෆෝසේට් මගින් විෂ සහිත වී ඇති බවද තහවුරු වී ඇත.

10. මිනිස් ආහාර මාර්ගයට ඇතුල් වන ග්ලයිෆෝසේට් බඩවැල් තුල සිටින මිනිසාට හිතකර ක්ෂුද්‍රජිවීන් සියල්ල විනාශ කර දමයි. ඒ වෙනුවට මිනිසාට ලෙඩ රෝග ගෙන එන හානිකර බැක්ටිරියා වර්ධනය ප‍්‍රවර්ධනය කරයි.

මීට අමතරව ශරීරයට හානිකර විෂ සහිත සංඝටක හා අනෙකුත් රසායනිකයන්ගෙන් මිනිස් සිරුර ආරක්ෂා කර ගැනිමට ඇති ස්වභාවික ආරක්ෂක ක‍්‍රියාවලිය අඩපණ කරයි.

11. විද්‍යාත්මකව තහවුරු වී ඇති මිනිස් සිරුරට ග්ලයිෆෝසේට් වල හානිකර බලපෑම සඳහා පහත උදාහරණ කිහිපය ප‍්‍රමාණවත් වේ.
a. මිනිස් මොලයේ ක‍්‍රියාකාරිත්වය අඩපණ කරයි. Dementia හෙවත් අමතක විමේ රෝගය ඉස්මතු කරයි.
b. අක්මාව ලෙඩ කරයි. මද්‍යසාර භාවිතා නොකරන පිරිස් පවා සිරෝසිස් නම් රෝග තත්ත්වයෙන් මරණය කරා ගෙන යාමට ග්ලයිෆෝසේට් ඉවහල් වෙයි.
c. මිනිස් හෝමෝන පද්ධතිය දරුණු ලෙස විනාශ කරයි. ඒ අනුව,
i. දියවැඩියාව
ii. කාන්තා පුරුෂ වද බව ලොව පුරා දිනෙන් දින ඉහළ යමින් පවතියි.

d. අලුත උපන් දරුවන් අතර මන්ද බුද්ධිකභාවය ඉහළ යන අතර Autism (ඔටිසම) නම් රෝගී තත්ත්වය කෙරෙහි දරුණු ලෙස බලපෑම් කරයි. වසර 20 – 30 කට පමණ පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ඔටිසම් තත්ත්වය පැවතුනේ 5000:1 ක අනුපාතිකයෙන් වන අතර අද වන විට එය 68:1 කි.

ඒ අනුව මේ සියලු රෝග හා ග්ලයිෆෝසේට් අතර සම්බන්ධතාවය 99% කට ආසන්න බව තහවුරු වී ඇත.

e. ගර්භනි කාලයේ අවසන් කාල සීමාවේදි ග්ලයිෆෝසේට් වලට නිරාවරණය වන කාන්තාවන්ගේ කුස තුල සිටින දරුවාට මාරාන්තික ප‍්‍රතිඵල උදා කරලිමට ග්ලයිෆෝසේට් සමත් වෙයි.

f. ග්ලයිෆෝසේට් හරහා DNA විකෘති කිරීම් වලට ලක්කර ශරීරය පුරා පිලිකා තත්ත්වයන් ඇති කිරීමට ග්ලයිෆෝසේට් දායකත්වය ලබා දෙයි.

g. ලොව පුරා විවිධ පර්යේෂණ වලින් තහවුරු වි ඇති පරිදි ග්ලයිෆෝසේට් මගින් වකුගඩු රෝග සඳහා වන බලපෑමද සුලු පටු නොවේ.

ලොව පුරා පිලිකා හා වකුගඩු රෝගින් දහස් ගණනක් මේ වන විට ග්ලයිෆෝසේට් වලට එරෙහිව වන්දි ඉල්ලා නඩු මගට වැටි ඇත. ඇමරිකාව ඇතුලු එම රටවල් වල නිතිඥ සංගම් එම රෝගින් වෙනුවෙන් නොමිලේ පෙනි සිටිමින් ග්ලයිෆෝසේට් වලට එරෙහිව සටනට එක් වී සිටියි.

ඒ අනුව මේ පිළිබඳ සුවිශේෂි අවධානය යොමු කොට ඊට අවශ්‍ය මැදිහත් වීම සිදු කරන ලෙස ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිමු.

12. ග්ලයිෆෝසේට් හා තේ කර්මාන්තය අතර සම්බන්ධතාවයන්ද අධ්‍යයනය කල යුතුය. දැනට සිදු කර ඇති සීමිත පර්යේෂණ මගින් තහවුරු වී ඇත්තේ ග්ලයිෆෝසේට් වල්නාශකයට ඔරොත්තු දෙන වල්පැළැටි ප‍්‍රභේද නිර්මාණය වෙමින් පවතින බවයි.

ඒ අනුව ගොවි මහතුන් විසින් එයට විකල්පයක් ලෙස ග්ලයිෆෝසේට් භාවිතා කරන ප‍්‍රමාණය දිනෙන් දින ඉහළ දමමින් සිටියි.

එහි අවසන් ප‍්‍රතිපලය කුමක් විය හැකිද යන්න පිළිබඳ කවර කතාද?

අවසානයේදි ශ‍්‍රී ලාංකීක තේ කර්මාන්තයට මේ හරහා වන බලපෑම පිළිබඳ, කට මැත දොඩවන සමහරක් දේශපාඥයන්්, ආර්ථික විශේෂඥයන් සහ යටි අරමුණු සහිත විද්‍යාඥයන් ලෙස හඳුන්වා ගන්නා පිරිස් අධ්‍යනනය කර තිබේද යන්න ඒ අය වහාම රටට එළි කළ යුතුය.

ඉතා නොබෝ කලකින් ග්ලයිෆොසේට් අධි සාන්ද්‍රනයක් සහිතව ශ‍්‍රි ලංකා තේ ලෝක වෙළඳ පොලෙන් ප‍්‍රතික්ෂේප වීමට සිදු වුවහොත් විය හැකි බලපෑම් පිළිබඳ දැන් තියා අධ්‍යනනය කර තිබිය යුතුය. අද වන විට කාබනික තේ වගාවෙන් ලබා ගන්නා තේ කොළ පවා ග්ලෆෝසේට් වලින් අපවිත‍්‍ර වී ඇති බව තහනුරු වී ඇත. එයට ප‍්‍රධන හේතුව ග්ලයිෆොසේට් ඉතා නිදහස් ලෙස ගුවනට නිදහස් කර විදීමේ ක‍්‍රමවේදයයි. අද වන විට යුරෝපා සංගමය ඇතුලු ලෝකයේ බොහෝ රටවල් ග්ලයිෆෝසේට් තහනම්කොට හෝ ඉදිරියේදී තහනම් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර ඇත. මෙහිදි යුරෝපා පාර්ලිමේන්තුවේදී සිදු වු දෙය සුවිශේෂිය.

තීරණය ගැනීමට පෙර යුරෝපා පාර්ලිමේන්තුවේ සියලු මන්ත‍්‍රිවරුන්ගෙන් මුත‍්‍රා සාම්පල් ග්ලයිෆොසේට් සඳහා පරීක්ෂා කරන ලදි. සියලු මුත‍්‍රා සාම්පල ග්ලයිෆෝසෙට් සහිත බව තහවුරු විය.

ඒ අනුව වසර කිහිපයක් ඇතුලත ග්ලයිෆෝසෙට් යුරෝපා සංගමය තුළ තහනම් කිරීමට එම යුරෝපා පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කරන ලදි.

ඒ අනුව මේ ආදර්ශය අපද ගත යුතුය. වහාම ශ‍්‍රි ලංකා පාර්ලිමේතුවේ ගරු මන්ත‍්‍රිතුමන්ලා සියලු දෙනාගේ ග්ලයිෆෝසේට් සඳහා මුත‍්‍රා පරීක්ෂාවක් සිදු කළ යුතුය.

පළමු සාම්පලය ගරු නවීන් දිසානායක ඇමතිතුමාගේ විය යුතුය. රට වෙනුවෙන් එම මුත‍්‍රා සාම්පලය පරීක්ෂා කිරීමට යන වියදම දැරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සුදානම්ය.

කෘෂි රසායන රේජිස්ටරාර් ජනරාල් මහතා ග්ලයිෆෝසේට් ගෙන්වීමට කටයුතු කරන බව මාධ්‍ය වල පල වී තිබුණි. නමුත් සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා ඊට විරෝධය පල කර තිබුණි. සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව ග්ලයිෆෝසේට් ලංකාවට ගෙන්වීමට කෘෂි රසායන රේජිස්ටාර්වරයාට හැකියාවක් නොමැත. මන්ද යත් කෘෂි රසායන ගෙන්වීම සඳහා අනුමැතිය ලබා දෙන කමිටුවේ අත්‍යවශ්‍යම නිලධාරියා වන්නේ සෞඛ්‍ය ලේකම් වරයායි. වෙනත් විදියකින් පවසතොත් සෞඛ්‍ය ලේකම්වරයා ඊට අනුමැතිය පල නොකලහොත් කෘෂි රසායන රේජිස්ටාර් ජනරාල්වරයාට අදාල කෘෂි රසායන ලංකාවට ගෙන්වීමට නොහැක. එසේ නම් ග්ලයිෆෝසේට් ගෙන්වීම සඳහා,

1. සෞඛ්‍ය ලේකම්වරයා මෙතෙක් අනුමැතිය ලබා දී ඇත්ද?
2. සෞඛ්‍ය ලේකම්වරයාගේ විරෝධතාවය නොතකා නීතියට පිටින් ගොස් ග්ලයිෆෝසේට් ලංකාවට ආනයනය කරන්නේද? යන්න පිළිබඳ විමසා බලන ලෙස අප සෞඛ්‍ය ඇමතිවරයාට දන්වා සිටිමු.

ආශ්‍රිත පුවත්: ජොන්සන්ට රුපියල් කෝටි 4600ක්; ලංකාව පරයන්ට
රතන හිමිට ජාත්‍යන්තර ජයක්! ග්ලයිෆොසෙට් පිළිකා කාරකයක් බවට අමෙරිකානු අධිකරණයකින් තින්දුවක් (Video)

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *