මහින්ද, මෛත්‍රීගෙන් අගමැති කම ඉල්ලයි!

ආණ්ඩුව පිළිබඳව ආණ්ඩුවටම කිසිදු විශ්වාසයක් නොමැති නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කළ යුතු බවත් එසේ නොමැති නම් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ආණ්ඩුව විසින්ම ගෙන එන ලද සීමා නිර්ණය කමිටු යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට ආණ්ඩුවම කටයුතු කිරීම තුළින් ආණ්ඩුවේ අර්බුදය පෙන්නුම් කෙරෙන බවත් ඒ ආකාරයෙන් රට ඉදිරියට ගෙනයන්නේ කෙසේද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවත් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

මෙම දේශපාලන අස්ථාවරභාවය නිසා රටේ ආර්ථිකය දැඩි අර්බුදයකට මුහුණපා ඇති බවත් එය ඉතා ඉක්මනින් ආසියානු කලාපයේ දරුණුතම ආර්ථික අර්බුදය ඇති රට බවට පත්වීමේ පෙරනිමිති පහළ වී තිබෙන බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය අංශය අකාර්යක්ෂම වී රජයේ ආදායම් මාර්ගද බිඳවැටී තිබෙන අතර ආයෝජකයන්ද රට අත්හැර යන තත්ත්වයක් උද්ගතවී ඇති බවත් පෞද්ගලික අංශයේ ව්‍යාපාරද බිඳ වැටී රට සෑම අංශයකින්ම අරාජික වීම ආරම්භ වී ඇති බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර රටේ අනාගත අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තුළද අකැමැත්තක් නැතැයි තමාට හැඟෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසයි. ජනාධිපතිතුමාට සිහි කල්පනාවක් තිබෙනවා නම් මහින්ද මහත්තයාව අගමැති කරයි. ඒ මගේ මතය. එසේ වුණොත් අපිට මේ රට බේරගන්න පුළුවන්. සමහරු කියනවා සිරිසේන ද්‍රෝහියෙක් කියලා. මේ ආණ්ඩුවට පවතින්නට දෙනවා කියන්නේ ඊට වැඩිය ද්‍රෝහිකමක් අපි කරන. ඒ වෙනුවෙන් කොළඹට මිනිස්සු ගෙනැල්ලා විතරක් වැඩක් නැහැ. පාර්ලිමේන්තුවෙත් යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි අපි. ඒ අනුව අපිට ආණ්ඩුව අවසානය කරා ගෙන යා හැකි බව නානායක්කාර මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ ඊයේ (27දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකදීය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.