EGB නැත්නම් කෑම එපා.. මහින්ද නැත්නම් බුදුනුත් එපා..!! (එදා සිට අද දක්වා මහින්දගේ විකාශනය)

එදා 2009 දී තිස් වසරක යුද්ධ නිමා කිරීමේ සේනාධිනායකයා ලෙසත්, ජනාධිපතිවරයා ලෙසත් මහත් ගෞරව අභිමානයකින් යුතු ජනහද ජයගත් නායකයෙකු බවට පත් වූ මහින්ද රාජපක්ෂ මහතා, ක්‍රමිකව ඒකාධිපතියෙකුගේ ගමන් මඟ ගත්ද, ඔහු 2015 දක්වා රැගෙන ආ ගාම්භීරත්වයක් සහ ගරුත්වයක් ඔහුගේ චරිතය සහ පෞරෂය තුළ විය. එය ඔහු 2015 ජනවාරි 09 වනදා තංගල්ලට යන මොහොත දක්වා ආරක්ෂා කරගැනීමට සමත්විය.

එහෙත් කුමන හෝ අවාසනාවකට තංගල්ලේ නිවසට ගොස් පැමිණ සිටි ජනතාව ඇමතීම සඳහා ගෙදර ජනේල උළු අහුවේ එල්ලුනු දා පටන් ඔහු තම ප්‍රතිරූපය විනාශ කරගැනීම ආරම්භ කර ගත්තේය. රජාට ඇඳ සිටි මහින්ද යළි බෙලිඅත්තේ ලොකු මල්ලීගේ, බජාර් එකේ චණ්ඩි මල්ලීගේ තත්වයට දැන හෝ නොදැන වැටෙන්න ගත්තේය.

එහෙත් 2015 ජනාධිපතිවරණය පැරදී ගෙදර ගිය මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ දේශපාලනය කරන්න ගොස් අවසානයේ වැටී ඇති පීච්චං තත්වය පසුගියදා සිදු වූ සිදුවීමෙන් මනාව පැහැදිලිවේ.

උපක්‍රමිකව අභයාරාමය තම දේශපාලන මූලස්ථානය කරගනිමින් දේශපාලන මෙහෙයුම් යළි ක්‍රියාත්මක කිරීමට ගත් මහින්ද, තමාට හැමදාම හැමතැනම රට වටේ තිබෙන පන්සල් ගානේ යන්න වේවි යැයි නොසිතන්න ඇත. එදා මහත් බලයෙන් සහ තේජසින් ජනාධිපතිවරයෙක් ලෙස සිටි මහින්ද දෙස සෘජු බැල්මක් පවා හෙලීමට ගෞරවාන්විත බියක් දැක් වූ මිනිසුන් අද ඔහුව ඉල්ලන්නේ සිල්ලරටය.

යෝධ සංවර්ධන ව්‍යාපෘති විවෘත කළ, 5000ක් නැතිනම් රැස්වීම් ආමන්ත්‍රණය කිරීමට නොපැමිණි මහින්ද රාජපක්ෂ නම් හිටපු ජනාධිපතිවරයා අද යන්නේ ගමේ සමිතියක හෝ කථා කිරීමේ අවස්ථාවක් ලදහොත් මාධ්‍යයට වොයිස් කට් එකක් දීමටය. අල්ලන් එන මයික් එකකට, අහන දේකට උත්තර දීමටය. එදා මෙරට ඉතිහාසයේ බිහි වූ වඩාත් ගෞරවාන්විත මෙන්ම ඓතිහාසික දේශපාලන චරිතයක් බවට පත්වීමට ඉඩහසර තිබූ මහින්ද රාජපක්ෂ අද, තමා එදා මුලින්ම ගමන ඇරඹි තැනටම යළි පැමිණ තිබේ. 72 හැවිරිදි මහින්දගේ දෛවය එය දැයි අපට කිව නොහැක.

එහෙත් අපේ කාලයේ රජෙකුව හැඳ රජ වැඩ දැමූවෙකු අපේ ඇස් පනා පිට දේශපාලන හිඟන්නෙකු ලෙස දැකීම තුළ ඇත්තේ කණගාටුවකි.

කෙසේ හෝ මෙම සිදුවීම තුළ මහින්ද රාජපක්ෂ චරිතය ජනතාවට එදා(2004) සිට මේ දක්වා විකාශනය වූ හැටි ඉතා සරළව කෙටියෙන් කියනවානම් මෙසේය. මෙය මහින්ද රාජපක්ෂ එදා සහ අද ජන මනස තුළ සිටින තැන පහසුවෙන් අවබෝධ කර ගැනීමට පිටුවහලක් සපයනු ඇත.

වර්ෂය ————- පොදුවේ සහ ප්‍රසිද්ධියේ ජනතාවත්, ඔහුගේ අනුගාමිකයිනුත් ඔහුව ආමන්ත්‍රණය කළ ආකාරය

2004 ————– අගමැති මහින්ද

2005 ————– ජනපති මහින්ද

2008 ————– රට බේරා ගැනීමට ආ දියසෙන් කුමාරයා

2009 ————– මහ රජතුමා, මහරජාණෝ, අපේ කාලයේ දුටු ගැමුණු මහ රජ, රජතුමා

2010 ————– ජනපති

2015 ————– හිටපු ජනපති

2016 ————– මහින්ද මහත්තයා

2017 ————– මහින්ද

2018 ————– එයා (ඉහත වීඩියෝවේ -0.33 සිට නරඹන්න)

-හසිත මානන්දුව-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *