කොන්ද පණ තියෙනව නම් අගමැති රනිල්ව එළවන්න කඩුව අතට ගන්න

ආණ්ඩු ගෙන ආ පනතක් ආණ්ඩුව විසින්ම පරාජය කිරීමේ ලෝක වාර්තාවක් පසුගියදා අපේ රට තැබූ බවත් අනෙක් රටවල් හෝන්දු මාන්දු වී මේ දෙස බලාගෙන සිටි අතර පරද්දන්නට අවශ්‍ය පනත් පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳව හෝ ජනාධිපතිවරයා සිය කඩුව අතට ගත යුතුව ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ පිළියන්දල ප්‍රදේශයේ පැවැත්වූ ජනහමුවකට එක්වෙමිනි.

එහිදී මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

“පරද්දන්න ඕන නම් ඕක පාර්ලිමේන්තුවට දැම්මේ මොන ඉටිගෙඩියටද? දවසකට ඕක විවාද කරන්න යන වියදම කොච්චරද? හයාමාර වෙනකං විවාද කළා. පනත ගෙනාපු ඇමැතිත් කියනවා පනත මරු කියලා. මරු කියපු ඇමැතිටත් මරු වැහිලද මන්දා පනතට විරුද්ධව ඡන්දෙ දෙනවා.

මෙහෙම විකාර බල බල අපේ රටට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. ඒ නිසයි අපි සිරිසේන ජනාධිපතිවරයාට අභියෝග කරන්නේ. තමන්ගේ වුවමනාවට පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ගෙන එන ලද පනත තමා සතු විධායක බලය නියෝජනය කරන අගමැති ඇතුළු ඇමැති මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමම ඒ පනත පැරැද්දුවා නම් ඒ පරද්දපු අගමැතිටයි ඇමැති මණ්ඩලේටයි විරුද්ධව දූවිලි බැඳිලා තියෙන කඩුව පාවිච්චි කරන්න. කොන්ද පණ නැත්තම් සිරිසේන ජනාධිපතිතුමාටත් දේශපාලන වශයෙන් අනිච්චාවත සංඛාරා කියලා තමයි කියන්න වෙන්නේ.

ඒ නිසා මේ විකාර බල බලා ඉදිරියට යන්න බෑ. අපේ දරුවන්ට මේ රටේ අයිතිය ඕන. ස්වදේශිකයන්ට මේ රටේ උරුමය ඕන. උතුර පුරා විද්‍යාත්මක වැනසෙනවා. විග්නේශ්වරන් මහත්තයා කියනවා සිංහලෙන් බෑ දෙමළෙන් පමණයි. නාගදීපය බෑ නයිනතිව් පමණයි. නාගදීපය කියලා එකක් නැහැ කියලා.

පළාත් සභා ඡන්දෙත් තියන පාටක් නැහැ. ජනාධිපති ඡන්දෙත් නොතිය ඉන්න පුළුවන් නම් නොතිය ඉන්න ජාතියෙ බඩු දෙකක් මේ ඉන්නේ. ඒ නිසා අපට ඡන්දෙ එනකං බලාගෙන ඉන්න බෑ.

දකුණු කොරියාවෙ මිනිස්සු සෝල් නුවරට ඇවිත් ඒ අගමැතිනිය ඉල්ලා අස්වන තුරු කඳවුරු බැඳගත්තා වගේ ඉල්ලා අස්වෙයල්ලා කියන පාඨය අරගෙන අගනුවර කඳවුරු බැඳගන්න අපට පුළුවන් වෙන්න ඕන. 56 හර්තාලයට පුළුවන් වුණා නම් ඇමැති මණ්ඩලය මුහුදෙ නවත්තලා තිබ්බ නෞකාවට තල්ලු කරන්න ඊට වඩා වැඩි පරාජයකට මේ පරගැති හවුල පත්කරන්න අපට පුළුවන් වෙන්න ඕන.

අපි අතීතයේ ඉන්දියාවට භූගෝලීයමය වශයෙන් යාවෙලා හිටිය නම් අපේ කියල අනන්‍යතාවක් සංස්කෘතියක් හැදෙන්නේ නෑ.

දැන් මේ මොකක්ද කරන්නේ. හනුමන් පාලම හදනවා ධනුෂ්කොඩි ඉඳන් මන්නාරමට, ත්‍රිකුණාමලේ ඉඳන් දකුණු ඉන්දියාවට රේල් පාර. ඊළඟට පලාලි ගුවන්තොටුපොළ ඉන්දියාවට. කන්කසන්තුර වරාය ඉන්දියාවට. ත්‍රිකුණාමල වරාය ඉන්දියාව, ජපානය සහ සිංගප්පූරුවට. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට. ගාලු වරාය ඉන්දියාවට. එට්කා ගිවිසුමෙන් ඉන්දියාව සේවා ආර්ථිකය තුළට රිංගන්න වරම. මේ ඔක්කොම වුණාට පස්සේ අවුරුදු 10ක් 15ක් යනකොට අප හැමෝටම වෙන්නේ “දිල්තෝ පාගල් හේ” තමයි.

ලෝකයේ අනාගත බලවතුන් අතර පොරයකදී මේ සාගර කලාපයේ බලය තියෙන්නෙ කාගෙ අතේද කියන එක තීරණාත්මකව වැදගත්. එතැනදී ලංකාවෙ පාලනය කාට අවනතවද තියෙන්නෙ කියන එකත් ඒ වගේම වැදගත්.

මෙන්න මේ බලපොරයට තමයි මේ රාජ්‍ය ගොදුරු කරලා තියෙන්නේ. සිරිසේන – වික්‍රමසිංහ යුගලය මේ කරමින් ඉන්නේ මේ අන්තර්ජාතික වටලෑමට ඕන කරන ක්‍රියාදාමය. මේකෙ අපි ගොදුරක් බවට පත් වුණොත් තවත් ලිබියාවක්, සිරියාවක් බවට පරිවර්තනය වෙන එක වළක්වන්න බෑ.

මේ අරමුණ මුදුන්පත් කරගන්න මේ අය ඉදිරියේදී අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයක් ලංකාවේ ඇතුළෙ නිර්මාණය කරන එක ගැන තමුන්නාන්සේලා පුදුම වෙන්නත් එපා.
මම සජිත් ප්‍රේමදාස මහත්තයට එන්න කිව්වා සජීවී රූපවාහිනී විවාදයකට. නෝ කතා නෝ සිනා. ආවානං මට කියන්න තිබ්බා ඇලෝසියස්ගෙන් චෙක් ගත්ත පනහේ සජිත් ප්‍රේමදාස කුමරුවන්ගේ නම් තිබේද නැද්ද කියලා. සජිත් ප්‍රේමදාස පුතණුවන්ගේ විවාහය සඳහා මූල්‍යාධාර සැපයුවේ ඇලෝසියස්ද වෙන අයකුද කියලා. විවාහ මංගල්‍ය උත්සවයට බිල ගෙව්වේ කවුද කියලා කියන්න තිබුණා.

ගෙදර ඉඳන් දත් කූරු කාකා බලාගෙන ඉන්නෙ නැතිව, කඩේට ගියහම බඩු මිල අහලා බැන බැන දෙස් දෙවොල් තිය තියා ඉන්නෙ නැතිව, කතිර ගහපු ලක්ෂ හැට දෙකට හෙණ ඉල්ල ඉල්ලා ඉන්නෙ නැතිව මේ පරගැති, හිඟන පාලන නඩය පරාජයට පත් කරන්න ලක්ෂ සංඛ්‍යාත ජනී ජනයාගෙන් කොළඹ අගනුවර මං මාවත් පුරවන්න අපට හැකිවෙන්න ඕන.

පළාත් පාලන ඡන්දයෙන් දීපු පණිවුඩය නොතේරිච්ච ඩබලට හොඳට තේරෙන්න ප්‍රහාරාත්මකව අපේ පණිවුඩය ලබාදෙන දවස.

ඒ නිසා සියලු දෙනාම දන්න කියන හැම කෙනෙක්ම එකතු කරගෙන මේ 5 වැනිදා හවස්වන විට කොළඹට රොද බැඳ ගනිමු. මේ අපේ සටනට ජාතියේ සටන. මේ රට තවදුරටත් ඉන්දියානු අර්ධ කොලනියක් කරන්න දෙනවද නැද්ද කියන සටන.

පරගැති බලවේගවලට මේ පොළොව ගිලගන්න දෙනවද නැද්ද කියන සටන. අන්න ඒ සටනේ ධජය ඔබ අතට ගෙන සටන්කාමී ජන ක්‍රියාන්විතයේ කොටස්කරුවකු වීම සඳහා උදේ‍යාගිමත්ව සහභාගි වන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.