පළාත් සභා ඡන්දය පරණ ක්‍රමයට ජනවාරියේ තියනවාමයි

පළාත් සභා මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත්, පළාත් සභා මැතිවරණය කිසිසේත්ම කල්දැමීමට ඉඩනොදෙන බවත්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ නායක ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි.

සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම නිසා නව ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බවත් එම නිසා පැරැණි ඡන්ද ක්‍රමයට පළාත් සභා මැතිවරණය 2019 ජනවාරි මාසයේදී පැවැත්වීමට ගතයුතු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇතැයි කියා තමා විශ්වාස කරන බවත් අමාත්‍යවරයා සඳහන් කෙළේය.

මේ අනුව පළාත් සභා මැතිවරණය පැරැණි ඡන්ද ක්‍රමයට අනුව පැවැත්විය යුතු බවට යෝජනාවක් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට පළාත් සභා, පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා හෝ අධිකරණ හා බන්ධනාගාර ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය හෝ කටයුතු කරනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බවද මනෝ ගනේෂන් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

යම් හෙයකින් විවිධ උපක්‍රම භාවිත කරමින් පළාත් සභා මැතිවරණය කල්දැමීම සඳහා ආණ්ඩුවේ කිසිවකු උත්සාහ කරනවා නම් ඊට එරෙහිව තමා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ රැසක නායකයන් ඇතුළු නියෝජිතයන් අමාත්‍ය මණ්ඩලය තුළත් ආණ්ඩුව තුළත් දැඩි අරගලයක් කිරීමට සූදානම් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කෙළේය.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.