මහින්දගේ නායකත්වයෙන් රටට හිතැති ආණ්ඩුවක් හදන මෙහෙයුම කොළඹින් අරඹනවා

‘මුළු රටම උග්‍ර දේශපාලන අර්බුදයකට ලක් කර ජනතා ආර්ථිකය පහතට ඇද දැමූ මේ ආණ්ඩුව පෙරළා දැමීමේ මහා ජනතා විප්ලවය සැප්තැම්බර් 05 වැනිදා අපි කොළඹින් ආරම්භ කරනවා’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ කීවේය.

ඒ මහතා එසේ කීවේ පසුගියදා උඩුගම්පල රෙජී රණතුංග අනුස්මරණ සමරු ශාලාවේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමේදීය. නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීවේය.

අද ජනතාව අමාරුවෙන් ගෙවන බදු මුදල්වලින් මේ ආණ්ඩුව පාරවල් පාසල් හදන්නේ නෑ. ඒ බදුවලින් කරන්නේ මහ බැංකු බැඳුම්කර පාඩුව ගෙවීම, ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම වගේ දේවල්. ආණ්ඩුවට ජනතා ජීවන වියදම පාලනය කරන්න සල්ලි නෑ. ඇමැතිවරුන්ට රුපියල් බිලියන 3ක වාහන ගේනවා. ජනපති රජරටින්.

හාල් පිටරටින්.වරාය විකුණ­ සල්ලිවලින් ණය ගෙව්වා කිව්වට ශත 5ක් ගෙවල නෑ. කොළඹ වරායේ ගේට්ටුව සහ කුණු ටික විතරක් අපට. ආදායම පිටරටට. සිංගප්පූරු එට්කා ගිවිසුම් ආවාම අපේ වෘත්තීයවේදියා වහලෙක් වෙනවා. ව්‍යවසායකයා සිඟන්නෙක් වෙනවා. ලාංකිකයෝ වහල්ලු වෙනවා. අද රටේ ආර්ථිකය කඩාවැටිලා. කර්මාන්ත වැටිලා. රට දේශපාලන අර්බුදයක. 2020 පෙබරවාරියට පාර්ලිමේන්තු වසර 4 අවසන්. ඉදිරි වසර 1 1/2 තුළ මැතිවරණ අවසන් විය යුතුයි. කොළඹින් අපි අරඹන සටන අවසන් කරන්නේ මේ ආණ්ඩුව පෙරළල දාලයි. ඉන් පසු රටට ජනතාවට ආදරය ඇති මහින්ද රාජපක්ෂගේ රටක් අපි හදනවා.

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක රණසිංහ
පොළොන්නරුව අනුරාධපුරයේ මිනිසුන්ට කන්න නෑ. 2/3න් සම්මත විය යුතු සීමා නිර්ණ කමිටුව ප්‍රතික්ෂේප වී එය අගමැති කමිටුවට යන පාර්ලිමේන්තු බලය පවා උදුරා ගැනීම අද සිදුවෙනවා. පළාත් සභා ඡන්දය නොපැවැත්වීමට කුමන්ත්‍රණය කරනවා. රටේ සම්පත් විකුණා ජනතාව පාරට ඇද දාලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ
රටේ ප්‍රධාන ව්‍යාපාර සියල්ලම කඩාවැටිලා 100 රීලෝඩ් එකට 46ක් කැපෙනවා. ලයිට් බිල් බද්ද 27%යි. අද බැංකුවට සල්ලි දැම්මත් බදු ගහනවා. ඉන්දියාවට මත්තල, ජපානෙට ත්‍රි’මලේ දෙන්න යනවා. හම්බන්තොට වරාය වික්කා.

ජනපතිතුමා රෑ 10.00ට නිදියනවා කියලා අගමැතිතුමා රෑ 10.15ට තෙල් මිල වැඩි කළා. දේශපාලන අර්බුද. රනිල් ගන්න තීරණ ජනපති දන්නේ නෑ. ජනපති ගන්න තීරණ රනිල් දන්නේ නෑ. මේ ආණ්ඩුව පලවා හැරීමේ සටන අපි සැප්තැම්බර් 5දා කොළඹින් අරඹනවා. අපි 73%ක පළාත් පාලන බලය ඇල්ලුවේත් නුගේගොඩින් ඇරැඹූ ජනසටනින්. ඊටත් වඩා ප්‍රබල ජන සටනක් අරඹා අපි මේ ආණ්ඩුව පෙරළා දමනවා. ජනතා ආර්ථිකය දියුණු කරන රටේ සම්පත්වලින් රටට ප්‍රයෝජනය ගේන ජනතාවාදී අපේ ආණ්ඩුව අපි හදනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *