අට පාස් නැති දේශපාලනඥයන් තනි මතයට රටේ සම්පත් විකුණනවා

අට පාස් නැති දේශපාලනඥයන් සමස්තය ගැන තීරණ ගනිමින් විකුණන්න දේවල් සොයනවා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියෝ ප්‍රකාශ කළහ.

උන්වහන්සේ එම අදහස් පළ කළේ ජාතික භික්ෂු පෙරමුණ ඊයේ (23) සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්ය.

ජාතික භික්ෂු දිනය නිමිත්තෙන් ලබන 28 වැනිදා කුඩාපොළ හිමි සහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සිහිකරමින් විශේෂ සම්මන්ත්‍රණයක් සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද සඳහන් කළ වකමුල්ලේ උදිත හිමියෝ වැඩිදුරටත් මෙසේද පැවැසූහ.

1848දී කුඩාපොළ හිමියන් ඝාතනය වුණා. ඒත් පරාදීනත්වය අවසන් වුණේ නැහැ. පරාදීනත්වය නැති කිරීම වෙනුවෙන් තමයි උන්වහන්සේ සටන් කෙළේ. 1873දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ මතවාදයක් ජයග්‍රහණය කළා. ඒත් දැන් ණය පංගුව වැඩියෙන් දෙන රටවල අයගේ මතය අපේ රටේ මතය වී තිබෙනවා. මේ පරාදීනත්වයෙන් නැඟිටින්න නම් එම විරුවන්ගේ ආදර්ශය නැවත කියවා ගත යුතුයි.

අපේ රට විවිධ ගිවිසුම් අස්සන් කරමින් රට ගොඩනඟන බව කිව්වත් තවත් පරාදීනත්වයක් වෙනුවෙනුයි රට අරගෙන යන්නේ. අපි 1948 නිදහස ලබන විට රටේ ණය තිබුණෙ රුපියල් මිලියන 125ක් පමණයි. එක පුද්ගලයකුගේ ණය රුපියල් 17යි. ඒත් අද වන විට ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් හාරලක්ෂ අසූ දහසක් වෙලා. රට කරවූ නායකයෝ ඒ විදියට අප පරාදීන කොට තිබෙනවා. විමුක්ති අරගල කරන්න සිංහල, දෙමළ, මුස්ලිම් හැම කෙනෙක්ම දායක වුණා. ඒත් එදා පැවැති අවම ජාතික සමඟියවත් ආරක්ෂා කර ගැනීමට අද වන විට හැකියාවක් ලැබී නැහැ.

අද අපට ජය ගැනීමට සටන් දෙකක් තිබෙනවා. අපේ රට කන පාලකයන්ගෙන් රට නිදහස් කර ගැනීම එකක්. ඒක නිදහස් අරගලයක්. ජාතික මූල්‍ය අරමුදල, ලෝක බැංකුව ආදී අපේ රට පරාදීන කරන බලවේගවලට විරුද්ධවත් සටනක් කළ යුතුයි. 1848 කුඩාපොළ හිමි ලබාදුන් විමුක්ති සටන් පාඨය අදටත් පවතිනවා. ඒත් එම ප්‍රධාන ප්‍රශ්නය අමතක කරන්න 19 වැනි සංශෝධන ආදී විවිධ මාතෘකා පාලකයන් විසින් කරළියට ගේනවා.

1950 වන විට රටේ ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය 40%ක් වුණා. 2017 වන විට එය 69% දක්වා අඩු වෙලා. 2017 වන විට සමස්ත ආදායම රුපියල් බිලියන 1800යි. වියදම බිලියන 2,500යි. බිලියන 700ක් හිඟයි. බිලියන 1,600ක ආදායම ලබා ගන්නෙ බදුවලින්. 2017දී ආදායමෙන් 87%ක් ණය හා පොලී ගෙවන්න සිදුවෙලා. අපේ පරාදීන බවට එම සංඛ්‍යා ලේඛන සාක්ෂි දරනවා. මේ පරාදීනත්වය නිසා තමයි ජාතික වරායන්, මුහුද ඇතුළු සියල්ල විකුණන්න සිදුවෙලා තියෙන්නේ. සමස්තය ගොඩනඟන්නෙ නැතිව දේශපාලනය, ශාසනය හෝ ආර්ථිකය ගැන කතා කරන්න බැහැ.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *