
තමන් ඇමැතිවරයකුගේ කාලයේත් වර්තමාන ජනාධිපති කාලයේත් අනාගතයේත් වංචාවට, දූෂණයට, නාස්තියට, හොරකමට එරෙහිව කටයුතු කරන බවත් ඒ සඳහා කැපවී කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පළමු වැනිදා මැදිරිගිරිය හා හිඟුරක්ගොඩ පැවැති ජන හමු කිහිපයකදී පැවැසීය.
ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ ‘යළි පිබිදෙමු පොළොන්නරුව’ ව්‍යාපෘතියේ රුපියල් කෝටි 6000ක ආයෝජනයකින් ආරම්භ කොට නිම කළ ව්‍යාපෘති 60ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
මැදිගිරිය ජාතික පාසලේ නව තෙමහල් ගොඩනැඟිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මෙසේ පැවැසීය.
“එදා මෙදා කාලය තුළ බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයට විශාල සේවයක් කළා. එහෙත් දරුවනේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කළ යුතු කාර්යයන් බොහෝ අතපසු වී තිබුණා. සංවර්ධනයේ ප්‍රමුඛතාව හඳුනා නොගෙන තිබුණා. සංවර්ධනයේ වේගවත් බව අවම වී තිබුණා. කළ යුතු දේවල් කොතෙක් තිබුණත් බොහෝ අය විසින් ඒවා කළ යුතු අවස්ථාවේ නොකර තිබුණා. එවැනි අවස්ථාවක තමයි 2015 ජනවාරි 08දා රටේ ජනතාව වගේම මේ දිස්ත්‍රික්කයේ ජනතාව විශිෂ්ට ජයග්‍රහණයක් මට ලබා දීලා මාව ජනාධිපති කෙරුවේ. සමහර අය අහනවා මේ අවුරුදු තුනහමාරේ මොනවාද කළේ කියලා. අපේ රට ලෝකයේ නොපිළිගත් රටක් මම ජනාධිපතිවරයා වෙනකොට.
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අෑත්වී තිබූ රටක්. ලෝකයේ රාජ්‍ය නායකයන් නොසලකා හැරි රටක්. මම ජනාධිපති වෙලා ඔබට ස්තුති කරන්න මැදිරිගිරියට ආවේ නැහැ. මට ඡන්දය දුන්න ජනතාවට ස්තුති කරන්න මම යාපනයට ගියේ නෑ. අම්පාරට ගියේ නෑ. මම ගියේ ලෝකේ වටේ රාජ්‍ය නායකයන් හමුවන්න. ගිහින් මම කියා හිටියා මගේ රට නිදහසේ ගෙනියන්න මට ඉඩ දෙන්න කියලා. ජාත්‍යන්තර බලපෑම් ඉවත් කළා. ජාත්‍යන්තර තර්ජන, පීඩාවන් ඉවත් කළා. මුළු ලෝකයේම මිත්‍ර රාජ්‍යයක් බවට මේ ඔබෙත් මගේත් මාතෘ භූමිය මම පත් කළා.
සමාජ ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න. ඒ සියල්ලම ඉෂ්ට කරන්න දිය යුතු ප්‍රධාන දේ කුමක්ද? ඒ සියල්ල විසඳන්න දිය යුතු ප්‍රධාන දේ රටේ දරුවන්ට හා ජනතාවට අධ්‍යාපනය ලබාදීමයි. මම ඉගෙන ගත්ත පොළොන්නරුව රාජකීය විද්‍යාලයත් මම අද බය නැතිව කියනවා, ලැජ්ජාවක් නැතිව කියනවා, කොළඹ රාජකීය විද්‍යාලයට වඩා අංගසම්පූර්ණ කරලා තියෙනවා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ පහසුකම් කොළඹ රාජකීය විද්‍යාලයෙත් නෑ. හෙට අනිද්දා විවෘත කරනවා 7,000කට ඉන්න පුළුවන් ශාලාවක්.
පොළොන්නරුවේ සියලු ඉදිකිරීම් සිදු කරන්නේ ත්‍රිවිධ හමුදාව. ඒ සඳහා මම කිසිම කොන්ත්‍රාත්කරුවෙක්, සමාගමක් සම්බන්ධ කරගෙන නෑ. 2015 ඉඳලාම මේ ප්‍රදේශයේ ගුවන් හමුදාව කටයුතු කරන්නේ. ගුවන් හමුදාපතිතුමා ඉන්නවා මෙතැන. මින්නේරි ප්‍රදේශය නාවික හමුදාව. පොළොන්නරුව ආසනය යුද හමුදාව. මේ ත්‍රිවිධ හමුදාව ඉතාම හොඳ ප්‍රමිතියකින් උසස් නිමාවකින් අඩු වියදමකින් දූෂණයෙන්, වංචාවෙන් තොරව පිබිදෙමු පොළොන්නරුවේ ඉදිකිරීම් කටයුතු කරනවා. ඒ ගැන ත්‍රිවිධ හමුදාවටම ස්තුතිය පුද කරනවා.”