දැවැන්ත වෛද්‍ය වැඩවර්ජනයට පෙර ජනපති වැඩේට අත ගසයි

කුප්‍රකට මලික් සමරවික්‍රම විසින් සකස් කොට හොර රහසේ අත්සන් තබන ලද ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වහාම අවලංගු කොට ඒ පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කොට විමර්ශනයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවස්ථා කිහිපයකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීම් සිදුකළ අතර එයට නිසි ප්‍රතිචාර නොලැබුණු හෙයින් දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයකට යෑමට එම සංගමය තීරණය කොට තිබිණ.

අඛණ්ඩ දුම්රිය වැඩ වර්ජනයක් ඇතුළු දැවැන්ත වර්ජන රැල්ලක් ක්‍රියාත්මක වන මොහොතක කෙසේ හෝ අවසාන මොහොතේ ජනාධිපතිවරයා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පිළිගෙන මෙම ශ්‍රී ලංකා – සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ස්වාධීන විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති විශ්‍රාමලත් ආර්ථික විද්‍යා මහාචාර්ය දේශමාන්‍ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබද හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ.ජයතිස්ස යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.

ඒ අනුව සිංගප්පූරු වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදු කිරීමටත්, යෝජිත නව වෙළඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේදී මෙරට තුළ වෙළඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මඟ පෙන්වීම් සඳහා නිර්දේශ ලබා ගැනීම එම කමිටුව මඟින් අපේක්ෂා කරන බව සඳහන්ය.

එමෙන්ම මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් කිරීම සඳහා සියළු පාර්ශවයන්ට විවෘතව ඉඩ සලසා දී බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

එම වි‍ශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින් වර අතුරු වාර්තා මඟින් ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර අවසන් වාර්තාව මාස 02 ක් ඇතුලත භාර දීමට නියමිතය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *