පොළොන්නරුව වගේ රටත් සංවර්ධනය කරනවා – ජනපති

පොළොන්නරුවේ පමණක් නොව දිවයිනේ සෑම පළාතකම යෝධ සංවර්ධන සංග්‍රාමයක් අරඹන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි. ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සවයට ඊයේ (01දා) එක්වෙමිනි.

එම අවස්ථාව ඇමතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

ඔබේ අතට පත්වී තිබෙන පොළොන්නරුව පිළිබඳ ප්‍රකාශනයේ ඉහළින්ම තිබෙන ශීර්ෂය වන්නේ රු. කෝටි 6000ක ව්‍යාපෘතියක් පිළිබඳව. මේ ව්‍යාපෘතිය රු. කෝටි 6000ක් වියදම් කරන ‘පිබිදෙමු පොළොන්නරුව’. ඇයි මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළේ? පොළොන්නරු දිස්ත්‍රික්කය. එදා ඩී.එස්. සේනානායක මහතාගේ ගොවි ජනපද ව්‍යාපාරය, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ යුගයේ මැදිරිගිරිය ගොවි ජනපද ව්‍යාපාරය, සී.පී. ද සිල්වා මහතාගේ නායකත්වයෙන් ගමන් කළ මඟෙහි බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම බොහෝ වැඩකටයුතු කළා. බොහෝ සංවර්ධන කාර්යයන් ඉටු කළා. එහෙත් මේ රටේ සංවර්ධනයේ සමබරතාව පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික්කවලට වේගවත් සංවර්ධනයක්. විශේෂ සැලකිලි. ඇතැම් දිස්ත්‍රික්ක නොසලකා හරිනවා ආණ්ඩු විසින්.

පොළොන්නරු දිස්ත්‍රික්කය බොහෝ කළ යුතු වැඩ කොටස් ඉටු නොවුණු දිස්ත්‍රික්කයක්. මේ රටේ ආදරණීය ජනතාව මාව 2015 ජනවාරි මාසයේ මැතිවරණයෙන් ජනාධිපතිවරයා විදියට පත්කර ගන්නා විට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස තුනේම බොහෝ ජනතාව පක්ෂ භේද අමතක කොට මට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාදුන්නා. විදුහල්පතිතුමා සඳහන් කළ පරිදි මම ඔබත් සමඟ එක්වුණේ අද ඊයේ නොවේ.

1989 පාර්ලිමේන්තුවට ගොස් විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විදියට මට ලැබුණා රු. ලක්ෂ 25ක්. ඒ කාලේ මන්ත්‍රිවරයකුට ලැබෙන්නේ රු. ලක්ෂ 25යි. ඒ රු. ලක්ෂ 25න් තමයි එහා පැත්තේ පාසලක් නොතිබූ විහාරගමෙහි අලුතින්ම පාසලක් හැදුවේ. සාමාන්‍යයෙන් විපක්ෂයේ මන්ත්‍රිවරයකුට එහෙම වැඩක් කරන එක එතරම් ලේසි නැහැ ගමකට අලුතෙන් පාසලක් හදන එක. අද සිටින ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ දේශපාලනඥයන්ටත් මම මතක් කරන්නට ඕන, රටේ විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විදියට මම එදා වැඩ කළේ ආණ්ඩුව සමඟ තිබුණු සංවර්ධන සහයෝගීතාව නිසායි. විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විදියට මම මගේ භූමිකාව අත්හැරියේ නැහැ. මම දැඩි ආණ්ඩු විරෝධී විවේචකයෙක් ඒ කාලේ. මෙහි සිටින වැඩිහිටි ගොවි පියවරු දන්නවා, ණය ගෙවාගන්න බැරිව වහ බීලා ගොවීන් මැරෙන කාලේ ගොවීන්ගේ මරණය සංකේතවත් කරමින් මිනී පෙට්ටියක් කරේ තියාගෙන මේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවත් සමඟ පෙළපාළි ගියේ මමයි ලංකාවේ පළවැනි වතාවට.

ඒත් 1989 විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විදියට එදා තිබුණු ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සමඟ සංවර්ධන කටයුතු සඳහා මගේ ඉතාම ඉහළ සහයෝගයක් තිබුණා. ඒ නිසා මම ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් මහජනයා වෙනුවෙන් ඒ කළ යුතු කාර්යයන්වලට ප්‍රමුඛත්වයක් දුන්නා. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සඳහන් කළා මොරගහකන්ද-කළුගඟ ව්‍යාපාරය ගැන. අපි රු. කෝටි 22,000ක් වැය කළා. මැදිරිගිරියේ ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන දුක්ගැනවිල්ල සහ ආ‍ෙ¼දා්නාව නිම කිරීම වෙනුවෙන්. ඒ ගොවිතැනට, මහ පොළොවට, බොන්න ජලය.

ඒ ප්‍රශ්නයට ඒ තුළ ස්ථිරසාර සදාකාලික විසඳුමක් මොරගහකන්ද – කළු ගඟෙන් දී තිබෙනවා. මම ඒ ගැන සතුටු වෙනවා. අද පොළොන්නරු දිස්ත්‍රික්කයේ මෙවැනි විවෘත කිරීම් 60ක් තිබෙනවා. මම මෙතැන හිටියට මැති ඇමැතිවරු 60කට වැඩිය අදාළ ස්ථානවල විවෘත කිරීම්වලට සහභාගි වෙනවා. හෙටත් මේ වගේ විවෘත කිරීම් 60ක් තිබෙනවා. අනිද්දාටත් මේ වගේ උත්සව 60ක් තිබෙනවා. මේ දවස් තුනට උත්සව 180ක් තිබෙනවා. ඇතැම් ස්ථානවල ව්‍යාපෘති දෙක තුන හතරක පමණ විවෘත කිරීම් තිබෙනවා.

උගතුන් වැඩිවීම රටක ඉදිරි ගමනට ශක්තියක්. ජාතියේ අනාගතය සඳහා උගත් ජනතාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ජනතාව දැනුමෙන් සන්නද්ධ වූ විට උගත්කමින් පරිපූර්ණ වූ විට අනික් ප්‍රශ්න සියල්ලම විසඳා ගැනීමේ හැකියාව ලැබෙනවා. දුප්පත්කම, රෝග පීඩාවන් ඒ වගේ විවිධ ගැටලු විසඳාගන්න අධ්‍යාපනයෙන් ලබාගන්නා දැනුම, අවබෝධය ඉතාමත් වැදගත්.

දරුවනේ, ඔබේ අනාගත යහපත උදෙසා මේ සම්පත් ඔබට ලබාදීමට හැකිවීම පිළිබඳව මා සිටින්නේ ඉතාමත් සතුටින්. අද තිබෙන්නේ නවීන තාක්ෂණය සමඟ බද්ධ වුණු බෙහෙවින්ම තරගකාරී සමාජයක්. මිනිස්සු නොයෙක් නොයෙක් අපේක්ෂාවන්ගෙන් පිරිලා. තම තමන්ගේ නොයෙකුත් අවශ්‍යතාවන් සපුරා ගැනීමට එකිනෙකා පරයා නැඟීසිටීමේ දැවැන්ත තරගයක ඔවුන් නියුතු වී සිටිනවා. දරුවන් පිළිබඳව මවුපිය අවධානය අඩුවී ගොස් තිබෙන්නේ. දරුවෝ ගෙදරින් පිට සිටිද්දී වගේම නිවෙස තුළ සිටින විටත් දැඩි අවධානයකින් පසුවිය යුතුයි.

ජංගම දුරකථන නිර්මාණය කළ ශේ‍ර්ෂ්ට මිනිසා ඔහුගේ විශිෂ්ට නිර්මාණය ලබා දුන්නේ සන්නිවේදනය පහසු කරන්න. එහෙත් එය වැරදි විදියට පාවිච්චි කරන්න පටන් අරන් තිබෙනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය සඳහා සෞඛ්‍ය වියදම් වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා ඔබ මවුපියන් විදියට දරුවන් පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *