වර්ජනවලින් අපිට රිදෙන්නේ නෑ; තැලෙන්නේ දුප්පත් ජනතාව – ජනපති

වැඩ වර්ජනවලින් ආණ්ඩුවට රිදෙනවා යැයි කවුරු හරි හිතනවා නම් එය මිථ්‍යාවක් බවත්, රිදෙන්නේ අහිංසක දුප්පත් පොදු මහජනතාව බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

විභාගය අවසන්ව ගෙදර යන පුංචි දරුවන් ගැන විතරක් දුම්රිය වැඩ වර්ජනය සිදු කරන අපේ හිතවත් මිත්‍රයන් සිතන්නේ නම් මෙවැනි වැඩ වර්ජනයක් ක්‍රියාවට නැංවීමට තරම් ඔවුන්ගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙනු ඇති බවත් එසේ වන්නේ නම් මනුෂ්‍යත්වයේ සැබෑ යථාර්ථය ඔවුන්ට අවබෝධ වනු ඇති බවත් ජනාධිපතිවරයා පැවැසුවේය.

දේශීය ඖෂධ පැළ ලක්ෂයක් සිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදීම සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව “පුනරුදය“ වැඩසටහන යටතේ විහාර මහාදේවි උද්‍යානයේ පැවැත් වූ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව ඊයේ (9) ප්‍රකාශ කළේය.

දුම්රිය වැඩ වර්ජනයන්ට අමතරව පසුගිය දවස්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනය සිදු කළ බවත් වෛද්‍යවරුන් වැඩ වර්ජන කළ යුත්තේ රෝගීන්ගේ අයිතිවාසිකම් උදෙසා බවත් ජනාධිපතිවරයා කීය.

රෝගීන්ට තිබෙන අඩුපාඩුකම්, බෙහෙත් හා වෛද්‍ය උපකරණ හිඟයන් යනාදිය මුල් කර ගනිමින් වෛද්‍යවරුන් වැඩ වර්ජන කළ යුතු යැයි ද, නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමට බාධාවක් වන අඩුපාඩු පවතින්නේ නම් ඒ උදෙසා වැඩ වර්ජනය කළ යුතු යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආණ්ඩුවේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන්නේත්, පොදු ප්‍රවාහන සේවාවේ ගමන් කරන්නේත් දුප්පත් මහජනතාව යැයි ද, පොහොසතුන් ඒවා භාවිතා නොකරන අතර මේ වැඩ වර්ජන හේතුවෙන් බොහෝ අපහසුතාවට පත්වන්නේ දුප්පත් අහිංසක ජනතාව යැයි ද ජනාධිපතිවරයා පැවසුවේය.

දුම්රිය වැඩ වර්ජනය සිදු කළ අවස්ථාවේ ඇතැම් විට මේ දුප්පත් ජනතාව සතු වන්න ඇත්තේ දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය පමණක් බවත් දුම්රියේ ගමන් ගන්නා ඇතැම් පුද්ගලයන්ට වතුර බෝතලයක් මිල දී ගැනීමට නොහැකිකම නිසා දුම්රිය ස්ථානයේ පවතින ජල කරාමයෙන් වතුර ටිකක් බොන අතර එවැනි පුද්ගලයන් අපහසුතාවට පත් කිරීමට මෙවැනි වැඩ වර්ජන ක්‍රියාත්මක කරීම අසාධාරණ බවත් ජනාධිපතිවරයා කීය.

මෙවැනි වැඩ වර්ජනයන් ක්‍රියාත්මක කරමින් ජාතියේ පුනරුදය ඇති කළ නොහැකි බවත් ප්‍රශ්න විසඳා ගත හැකි ආණ්ඩුවක් තිබිය දී වැඩ වර්ජන කිරීමට අවශ්‍යතාවක් නොමැති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. කුමන ආකාරයේ වැඩ වර්ජනයක් හෝ උද්ඝෝෂණයක් පැවැතියත් යහ පාලන ආණ්ඩුව බලයට පත් වූ දා සිට මේ වන තෙක් ඒවා මර්දනය කිරීමට තුවක්කුවක් පත්තු කර නොමැති යැයි ද, සයිටම් ගැටලුව මුල් කර ගනිමින් ගොඩක් අය අපි අතින් තුවක්කු පත්තු කරන්න උත්සාහ කළත්, එය අසාර්ථක වූයේ යැයි ද, ජනාධිපතිවරයා අවධාරණය කළේය. තුවක්කු පත්තු නොකර තහවුරු කර තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට අප සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවැසුවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.