හොඳ දේ කළත් රූපවාහිනියෙන් හෝ පත්තරවලින් හෝ මගේ තීන්දු අගය කරන්නේ නෑ

අද මාධ්‍ය විසින් මට බනිනවා. නමුත් ඒ කිසිම මාධ්‍යවේදියෙක් සුදු වෑන්වලින් ගෙන යෑමට අප කටයුතු කරන්නේ නැහැ. කවුරුවත් ඝාතන හෝ වෙඩි තැබීම් සිදු කර නැහැ. නමුත් අපට තවමත් බනිනවා. එය අප ඇති කළ ප්‍රජාතන්ත්‍රවාදය බව පැවැසිය හැකි යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

රූපවාහිනියෙන් හෝ පත්තරවලින් තමාගේ තීන්දු තීරණ අගය නොකරන නමුත් තමා සෑම විටම රට වෙනුවෙන් හරි දේ කරන බවත්, ගම් පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදී වැඩසටහන් හරහා ගම සංවර්ධනය වන බවත් උපාධිධාරි පත්වීම් ලබාදීමට කටයුතු කර ඇති බවත් මේ සියලු වැඩ කටයුතු සිදු කරමින් රට ශීඝ්‍රයෙන් ඉදිරියට යමින් සිටින බවත් පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ බද්දේගම, මහජන ක්‍රීඩාංගණයේ පැවැති ගාල්ල දිස්ත්‍රික් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද පැවැසීය.

ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන නුවරඑළියෙන් ආරම්භ කර අද බද්දේගමට පැමිණෙන විට ඔප්පු 10,000ක් ලබාදීමට අපට හැකි වී තිබෙනවා. සියලු දෙනාටම තමන්ගේ භූමියේ අයිතිය බලාත්මක කරන ඔප්පුව ලබාදී තිබෙනවා. සියලු දෙනාගේම බලාපොරොත්තුව භූමියක අයිතිය ලබා ගැනීමයි. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් ලෙස ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ක්‍රියා කරන්නේ එම නිසයි.

අපි කිසිම විටෙක විදේශිකයන්ට ඉඩම් විකුණුවේ නැහැ. අප සෑම විටෙකම ඉඩම් ලබා දුන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවටයි. පසුගිය ආණ්ඩුව යටතේ විදේශිකයන්ට ඉඩම් විකුණා දැමූ ආකාරය මට හොඳින් මතකයි. කොළඹ වරාය නගරය ඉදිකිරීම වෙනුවෙන් මුහුද ගොඩකිරීමෙන් එම ඉඩම් අයිතිය චීන සමාගමට සින්නක්කරව ලබාදීමත් ඔවුන් සිදු කළා. ඉඩමක් නිර්මාණය වෙන්නටත් පෙර මුහුදේ සින්නක්කර අයිතිය විදේශිකයන්ට විකිණීමට ඔවුන් කටයුතු කළා.

අපේ ආණ්ඩුව පිහිටුවීමෙන් පසු අඩුපාඩු නිවැරැදි කරමින් චීන සමාගමට ලබාදුන් සින්නක්කර අයිතිය අහෝසි කිරීමට හැකි වුණා. පසුව චීන ආණ්ඩුවත් සමඟ සාකච්ඡා කරමින් එය 99 අවුරුදු බද්ද යටතේ ලබාදීමට එකඟ වුණා. සාමාන්‍යයෙන් ඉඩමක් බදු දෙන විට රජය 99 අවුරුද්දකට හෝ ඊට අඩුවෙන් බදු දෙනවා හැර විකුණා දමන්නේ නැහැ. අනෙක් ඉඩම් යුද හමුදා මූලස්ථානයේ ඉඩමයි. එම ඉඩමත් සින්නක්කරව විකුණා දැමීමට ඔවුන් කටයුතු කළා.

යුද හමුදා මූලස්ථානයට කරන්නේ කුමක් දැයි අප එදා පාර්ලිමේන්තුවේදී විමසූ අවස්ථාවේ ඔවුන් පැවැසුවේ එය අකුරේගොඩට ගෙන යන බවයි. අපි බලයට පත් වන විට එම සමාගම හෝටලය ඉදිකිරීම් ආරම්භ කර තිබූ බැවින් එම ගිවිසුම අහෝසි කිරීමට හැකියාවක් තිබුණේ නැහැ.

සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ජනතාවට ජීවත්වීම සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති 1,000ක් පමණ ආරම්භ කර තිබෙනවා. වතුකරයේ ජනතාවට නිවාස 1,000ක් ඉදිකර දීමේ වැඩපිළිවෙළ දිගම්බරම් ඇමැතිතුමා ආරම්භ කළා. මීට පෙර වතුකරයේ ජනතාවට බිම් අඟලක හිමිකමක් නොතිබුණත් දැන් ඔවුන් වෙනුවෙන් ගම්මාන බිහි කරමින් තිබෙනවා. උතුරේ යුද්ධයෙන් විනාශ වූ නිවාස වෙනුවෙන් නව නිවාස 40,000ක් ඉදිකරදීමට අප කටයුතු කරනවා.

මීට අමතරව කොළඹ අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස ඉදිකිරීම සඳහා චීන බැංකුවකින් රුපියල් මිලියන 32,000ක් ලබාගන්නවා. රටේ නිවාස ඉදිකිරීම සඳහා අප කටයුතු කරන්නේ ඒ ආකාරයටයි.

2005 සිට 2014 දක්වා කාලය තුළ පසුගිය ආණ්ඩුව කිලෝමීටර් 183ක් මාර්ග ඉදි කළා. විශාල සංවර්ධනයක් බව සියලු දෙනා පැවසුවා.

නමුත් අපි 2015 සිට 2017 දක්වා කිලෝ මීටර් 185ක් මාර්ග ඉදිකර තිබෙනවා. අප එම කටයුතු වෙනුවෙන් බෙර ගසන්නේවත්, විවෘත කිරීම් උත්සව පවත්වන්නේවත් නැහැ. කොතරම් අපහසු වුණත් ජනතාව වෙනුවෙන් බය නැතුව තීරණ ගත යුතුයි. එම තීරණවලට ජනතාව අකැමැති නම් අපට ගෙදර යෑමට හැකියි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.