මේ රටේ බත් කන ජනතාව නොදන්න සිරිසේනලාගේ සහල් මාෆියාව

වැසි වසින කළ පසුගිය කාලය පුරාවට ආණ්ඩුව කීවේ වැස්සයි, ගංවතුරයි නිසා සහල් මිල ඉහළ යන බව ය. පායන කළ කිවේ ඉඩෝරය නිසා සහල් මිල ඉහළ යන බවය. කෙසේ හෝ මේ සියලු කාලවලදී නිරන්තරයෙන් එළවළු මිල ඉහළ ගොස් පහළ වැටුනි. එහෙත් පසුගිය වසර තුනහමාර පුරාවට කෙදිනකවත් සහල් මිල නම් කිසි ලෙසකින්වත් පහළ වැටුණේ නැත.

පෙරදිග ධාන්‍යාගාරය ලෙස අතීතයේ හැඳින් වූ අප රටේ තවමත් ප්‍රධාන ආහාරය වන්නේ බත්ය. මඩ සෝදාගත් කල ගොවියා රජකමට සුදුසු යැයි කියමනක් ඇතත්, රටට බත සපයන ගොවීන්ට වස බී සිය දිවි නසා ගන්නට සිදු වූ කාලයක් ද තිබිණි. දැන් සහල් මිල දී ගන්නට වෙළඳපොළට යන අපට ද බත් කන්නට ජීවත් වනවාට වඩා වස කා මිය යාම පහසු බව සිතේ. සහල් මිල එතරම් ඉහළ ගොස් ඇතත් අද වන විට සහල් මෝල් හිමියන් ද සියදිවි නසා ගන්නා තත්ත්වයක් උදා වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පන්නෙගමුව විමාෂා සහල් මෝලේ හිමිකරු වන විමල් වික්ටර් වීරවර්ණකුල මේ වසරේ ජනවාරි මස 24 දින කෘමිනාශක පානය කර සිය දිවි නසා ගත්තේය. පොළොන්නරුවේ ගොවීන් කනේරු ඇට කා සිය දිවි නසා ගන්නා විට එවකට සිටි ඇමතියෙක් කීවේ ගොවීන් සිය දිවි නසා ගන්නේ “ජොලියට” බවය. විමල් වික්ටර්ගේ මරණය ද එවැනි “ජොලියට” සිදු කර ගත් එකක් යැයි සිතන නිසාදෝ ඔහුගේ මරණය හෝ මරණයට හේතු වූ කරුණු කාරණා ගැන තවමත් කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානය යොමුව නැත. මේ නිසා මේ රටේ බහුතර සහල් මෝල් හිමියන් සිටින්නේ සිය දිවි නසා ගන්නට හෝ නොහැකි තත්ත්වයකය.

අද වෙළෙඳපොළේ සාමාන්‍ය සහල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 100ක් පමණ වේ. එය පාරිභෝගිකයාට ඉවසිය නොහැකි මිලකි. ගොවියා ද කියන්නේ තමන්ගේ වී සඳහා සාධාරණ මිලක් නොලැඛෙන බවය. ඒ අතරේ සහල් නිෂ්පාදකයන්ට ද සිය දිවි නසා ගන්නට සිදුව ඇත්තේ ඇයි?

සමස්ථ ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ මේ අවාසනාවන්ත තත්ත්වය උදාවී ඇත්තේ සහල් මෝල් හිමියන් කිහිපදෙනකුට මෙම ව්‍යාපාරය මෙහෙයවීමට ආණ්ඩුව ඉඩ සලසාදීම නිසා බවය.

වසර 10කට 15 කට පෙර මෙරට සහල් මෝල් 500ක පමණ ප්‍රමාණයක් පැවතිණ. එහෙත් අද වන විට මේ ලොකු කුඩා මෝල් සියල්ලම පාහේ වැසී ගොස් තිබේ. ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ මෝල් 10ක පමණ ප්‍රමාණයකි. ඒ අතරින් ද සහල් ව්‍යාපාරය මෙහෙයවන්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනකු විසිනි.

අද වන විට මේ රටේ විශාලතම සහල් නිෂ්පාදකයා ද, මෝල් හිමියා ද වන්නේ ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේනය. ඉන් පසු සිටින්නේ ජනාධිපතිවරයාගේ ළඟම හිතවතකු හා පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ සංවිධායක ලංකේශ්වරන් මිත්‍රපාලය. හිටපු අමාත්‍ය සිරිපාල ගම්ලත් ද තවමත් මෙරට ප්‍රධානම සහල් නිෂ්පාදකයෙකි. එසේම ඔහුගේ සොහොයුරා හා ඥාති සහෝදරයා ද ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදකයෝ වෙති. මේ අය මෙරට සහල් ඒකාධිකාරය පවත්වාගෙන යන්නේ ආණ්ඩුවේ සහාය ඇතිවය. එය එදත් එසේමය. අදත් එසේමය. නමුත් මෝල් වැසී යන මට්ටමට එය බරපතළ වන්නේ වත්මන් ආණ්ඩුව පත් වූ පසුය. ඒ නිසා අද වන විට මෙරට සහල් ව්‍යාපාරය ව්‍යාපාරයක් නොව මාෆියාවක්, ජාවාරමක් බවට පත්ව ඇත.

“2017 වසරේ අයහපත් කාලගුණය නිසා වී නිෂ්පාදනයේ අඩාල වීමක් වුණා. ඒ අතරේ මේ මහා පරිමාණ වී නිෂ්පාදකයන් තමන්ගේ නිෂ්පාදන අවශ්‍යතාවට වඩා වැඩි ප්‍රමාණයක් වී ගබඩා කර ගත්තා. ඒ නිසා මධ්‍ය පරිමාණ හා කුඩා සහල් මෝල් හිමියන්ට කර්මාන්තය කරගෙන යන්න නොහැකි තත්ත්වයක් උදා වුණා.

අපි මේක ඒ අවුරුද්දේ 2017, සැප්තැම්බර් මාසයේ අයවැයට කලින් පාර්ලිමේන්තුවේ සියලූම මැති ඇමැතිවරුන්ට ලිඛිතව දැනුම් දුන්නා. ඒත් වැඩක් වුණේ නැහැ.”

සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් මුදිත් පෙරේරා අප සමඟ පැවැසීය.

මේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ජාවාරම තවත් ශක්තිමත් වුණේ ආණ්ඩුව අත්තනෝමතික ලෙස සහල් ආනයනය කිරීමට තීරණය කිරීම නිසාය. සහල් ආනයනය කරන්නට තීරණය කරන්නේ රට තුළ සහල් හිඟයක් ඇති වේ යැයි ඇති වූ අහේතුක බියක් හේතුවෙනි. ඇත්ත වශයෙන්ම මේ බිය ඇති කරන්නේ ද මේ මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් විසිනි. එය අහේතුක බියක් වූයේ කෙසේ දැයි සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම්වරයා පැහැදිලි කළේ මෙසේය.

“අපේ රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්රික් ටොන් ලක‍ෂ 24ක් පමණ වෙනවා. මේ සහල් ප්‍රමාණය නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන්නේ වී මෙටි්‍රක් ටොන් ලක‍ෂ 40ක ප්‍රමාණයක්. 2015 අවුරුද්දේ අපේ වී නිෂ්පාදනය මෙටි්‍රක් ටොන් ලක‍ෂ 48ක්. ලක‍ෂ 8ක අතිරික්තයක්. 2016 මෙටි්‍රක් ටොන් ලක‍ෂ 44.5යි ලක‍ෂ 4.5ක අතිරික්තයක්. 2017 දී වී නිෂ්පාදනය පහත වැටෙනවා. නිෂ්පාදනය වෙන්නේ මෙටි්‍රක් ටොන් ලක‍ෂ 24යි. ලක‍ෂ 16ක හි`ගයක්. ඒත් ඊට පෙර වසර දෙකේ අතිරික්තය අපි මුහුදට දැම්මේ නෑනේ. ඒවා වෙළෙඳපොළේ තිබුණා. එතකොට 2017 සැබෑම වී හිඟය මෙටි්‍රක් ටොන් ලක‍ෂ 4 1/2ක විතර ඉතාම සුළු ප්‍රමාණයක්.

නමුත් 2015 වසරේ අපි සහල් මෙටි්‍රක් ටොන් 286,000ක් ආනයනය කරලා තියෙනවා. ඒ කියන්නේ 2017 නියඟයට පිරිමහන්න 2015දීම සහල් ගෙන්වනවා. මේ විදියට 2017 ජනවාරි 01 වැනිදා ඉඳලා 2018 මැයි මාසය වන විට සහල් මෙටි්‍රක් ටොන් ලක‍ෂ 11ක් ගෙන්වලා තියෙනවා. මේ විදියට සහල් ගෙන ඒමෙන් ඒවට අනුමැතිය දෙන අයට කොමිස් ලබා ගන්න අවස්ථාව උදා වුණා.”
මෙරට වී නිෂ්පාදනය ද මුළුමණින්ම පාහේ මිල දී ගන්නා මහා පරිමාණ සහල් නිෂ්පාදකයන් සහල් ආනයනය කළ බවද සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය චෝදනා කරයි.

“මේ අයම සහල් ආනයනය කරලා ඒ ආනයනික සහල්වල ඒකාධිකාරියක් ඔවුන් අත තියා ගත්තා.”

“විදේශ සහල්වල මිල අඩු වුණත් මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ඉන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ නිෂ්පාදන මිල වැඩි වෙළෙඳ සන්නාමයන් (ඊර්බා) බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ පාරිභෝගිකයා මිල කීය වුණත් මේ ඊර්බාැා නිෂ්පාදන මිල දී ගන්නවා. සුළු සහ මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයා ළගට එන්නේ මිල අනුව භාණAඩය ගුණ අගුණ තීරණය කරන පරිභෝගිකයායි.

විදේශ හාල් අඩුම මිලට වෙළෙදපොළට ආපු නිසා පාරිභෝගිකයා ඊට යොමුවීමෙන් අපේ වෙළෙ`දපොළ කොටස් අහිමි වී ගියා.

ඊළඟට හැමදාම අස්වැන්න කැපෙන කාලෙට සතොස තියාගෙන ඉන්න සහල් තොග වෙළෙඳපොළට මුදා හරිනවා වී තොග ගබඩාකරන්න ඉඩ නැහැ කියලා. මේවා මිලදී ගන්නෙත් මේ මහා පරිමාණ මෝල් හිමියන්.

මේ තත්ත්වය නිසා මේ වෙන කොට අපේ සහල් මෝල්වල සේවකයන් 25,000කට විතර රැකියාව අහිමි වෙලා තියෙනවා. ඒ නිසා මේ වැහිලා ගිය වී මෝල් හිමියන් බැංකුවලට ගෙවන්න තියෙන ණය ප්‍රමාණය රුපියල් බිලියන 5ක් විතර වෙනවා. මේ නිසා ඒ බැංකුත් අමාරුවේ වැටිලා ඉන්නේ. මොකද අපේ වී මෝල් බැංකුවට පවරා ගත්තත් ඒවා මිලදී ගන්න කෙනෙක් සොයා ගන්න බැරි නිසා.”

වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැතිවරයාව සිටියදී 2014 දෙසැම්බර් මාසයේ දිනක ඔහු හමුවූ සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය තමන්ට විසදුමක් ලබා දීමට මැදිහත් වන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියේය. එවකට ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහකා සමග සාකච්ඡා කොට විසදුමක් ලබාදීමට පොරොන්දු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉන් දින 05කට පසු පොදු අපේක‍ෂකයා බවට පත් විය.

“ඒක නිසා අපි හිතුවා එතුමා ජනාධිපති වුණහම අපේ වැඩේ ලේසි වෙයි කියලා. අපිත් ඡන්දෙ දුන්නා. ඒත් මේ ගැන සාකච්ඡාවක් ඉල්ලූවම තාම ලැබුණේ නැහැ. එතුමා කාර්යබහුල නිසා මේ ගැන සොයා බලන්න කියලා මේ අවුරුද්දේ මාර්තු 05 දා මලික් සමරවික්‍රම ඇමැතිතුමාට දැනුම් දීලා තියෙනවා. මේකෙ විහිළුව කියන්නේ දේශීය වී සහ සහල් ප්‍රශ්නය ගැන සාකච්ඡා කරන්න පවරන්නෙ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යවරයාට. ඒ නිසා වෙන්න ඇති එතුමා තාමත් අපිට නම් කතා කළේ නැහැ.” චමත් පෙරේරා මහතා සඳහන් කළේය.

මේ නිසා සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය මේ වසරේ මාර්තු මස 30 වැනිදා තමන්ගේ ප්‍රශ්න සඳහන් කොට ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත. එයටද මේ දක්වා පිළිතුරක් නැත.

සහල් ජාවාරම්කරුවන් එක් අයෙකු දෙදෙනකු නිසා සමස්ත සහල් නිෂ්පාදන කර්මාන්තයම බිඳ වැටී ඇති අතර, මේ නිසා තවත් ප්‍රශ්න රාශියක් මතුව තිබේ.

නවසීලන්තයෙන් ගෙන්වන කිරිපිටිවලට පාලන මිලක් ඇති මේ රටේ මෙරට නිෂ්පාදනය වන, ජනතාවගේ ප්‍රධාන ආහාරයට අවශ්‍ය සහල් සඳහා පාලන මිලක් නැත. මේ නිසා මේ සහල් ජාවාරම්කරුවන්ට එක් සහල් කිලෝග්‍රෑමයකින් රුපියල් 30ක පමණ ශ=ද්ධ ලාභයක් උපයා ගැනීමට හැකිව තිබේ.

මේ දැරිය නොහැකි සහල් මිල නිසා ජනතාව යළිත් වරක්. පාන් පිටි පරිභෝජනයට යොමු වෙමින් සිටී. 2013 වසරේ මෙටි්‍රක් ටොන් 895,000ක් වූ තිරි`ගු පිටි ආනයනය පසුගිය වසරේ මෙටි්‍රක් ටොන් 12,50,000ක් දක්වා 40%කින් ඉහළ ගොස් ඇත. මේ හරහා විශාල මුදලක් විදේශයන්ට ඇදී යන අතර පාන් පිටි පරිභෝජනය නිසා ජනතාව රෝගී වීමද වැඩිවන අතර අවසානයේ ඒ බරද ජනතාව මත පැටවෙන්නේය. ජනතාව මේ අන්දමට පිටි කා ලෙඩ වන්නේ ගොවි පුතෙක් රටේ නායකයා සිටියදීය.

ආණ්ඩුව වසරකට රුපියල් මිලියන 50,000ක් පොහොර සහනාධාරය සඳහා වැය කරන්නේය. ඒසා මුදලක් වැය කරන්නේ හුදෙක් ගොවියන්ට සහන සැලසීමට පමණක් නොව රටේ සමස්ත ජනතාවටම සහනයක් සැලසීමේ අරමුණෙනි. නමුත් පොහොර සහනාධාරය ද ලබා ගොවියා නිපදවන වී එක් අයෙකුට හෝ දෙදෙනකුගේ පාලනයට යටත් කිරීමෙන් ඒ අරමුණ ඉටු වන්නේ නැත.

අප ප්‍රාර්ථනා නොකළ ද රට තුළ සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වුවහොත් රටේ ජනතාවට කන්නට දෙන්නට මේ සහල් ජවාරම්කරුවන්ට වැඳ වැටෙන්නට සිදු නොවණු ඇත්දැයි සහතික විය හැක්කේ කාටද? සිවිල් යුද්ධයක් කෙසේ වෙතත්, දැඩි නියඟයක්, ගංවතුර වැනි ස්වාභාවික ආපදාවක් ඇති වී අස්වැන්න විනාශ වුවහොත්, මේ තත්ත්වය ඇති නොවන්නේද?

ආණ්ඩුව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නමින් මහා ප්‍රෝඩාවක් කරමින් ඉන්නේ රටේ සහල් නිෂ්පාදනය ද, බහුතර සහල් නිෂ්පාදකයා ද මේ අන්දමට කඩා බිද වැටී තිබියදීය.

මුදල් ඇමැතිවරයා කියන අන්දමට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හරහා නව ව්‍යවසායකයන් ලක‍ෂයක් බිහි කිරීමට නියමිතය. සහල් මෝල් හිමියන්ට නවීන තාක‍ෂණයෙන් යුත් ගබඩා පහසුකම් ඉදිකිරීම සඳහා ද මේ යටතේ “රන් අස්වැන්න” නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. එමඟින් රුපියල් මිලියන 750 දක්වා ණය ලබා දෙන බවද පැවසේ.

තමන්ගේ හයියෙන් වී නිෂ්පාදන කර්මාන්තයේ යෙදී සිටි කර්මාන්තකරුවන් 300ක් – 400ක් වළපල්ලට යමින් සිටියදී ඊට විසඳුමක් නැති ආණ්ඩුව වී මෝල් පුළුල් කිරීමට ණය දෙන්නට සූදානම් වෙයි. මේ ප්‍රදර්ශනය කරන්නේ මේ ආණ්ඩුවේ ආර්ථීක කළමනාකරණය නොදන්නා කමද, නැතහොත් අමන කමද?

මේ ණය යෝජනා ක්‍රමයෙන්ද ප්‍රධාන පෙළේ සහල් ජාවාරම්කරුවන් තව තවත් ශක්තිමත් වනු ඇත. 2017 අයවැයෙන්ද සහල් මෝල් සඳහා 6.5% පොලියට ණය ලබා ඇති අතර එය ලබාගෙන ඇත්තේ ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන පමණකි. ජනාධිපති සොහොයුරු ඩඩ්ලි සිරිසේන මේ වන විට සිය වී මෝල් නිෂ්පාදන ධාරිතාව 100%කින් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බවක් දැන ගන්නට ඇත. එසේ නම් මෙවැනි ණය යෝජනා ක්‍රම හරහා ඊට ඉන්ධන සැපයෙනු ඇත. එවිට සිදුවනු ඇත්තේ සහල් ජාවාරම තුළ ඔහුගේ ඒකාධිකාරය තව තවත් ප්‍රබල වීම පමණකි.

ඇත්ත වශයෙන්ම මෙරට සහල් ව්‍යාපාරය නිසි ලෙස පවත්වා ගෙන යමින් පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට සහල් ලබාදීමට ආණ්ඩුවට සැබෑ අවශ්‍යතාවක් ඇත්නම් කළ යුතුව ඇත්තේ මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැනි ඇස්බැන්දුම් නොකර, සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය ඉල්ලා සිටින සහන ලබාදී සහල් ඒකාධිකාරය අවසන් කිරීමට පියවර ගැනීමය.

-කුලශ්‍රී කාරියවසම් විසින් ‘සැබෑ’ පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරින්-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *