දැනට 4කට මරු කැඳවා ඇති සාදය පිටුපස ප්‍රබල ඇමතිවරයෙක්! ආරක්ෂක අංශ නිහඬයි

වාද්දුවේ සාදය සංවිධානය කිරීම පිටුපස කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රබල ඇමැතිවරයකු සිටින බව ජාතික නිදහස්‌ පෙරමුණේ ජාතික සංවිධායක කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (07) පැවැසීය. මෙම සාදයේදී විෂ ශරීර ගතවීම නිසා තරුණයන් සිවු දෙනකු මියගොස්‌ ඇතත් ඊයේ වන තෙක්‌ එය සංවිධානය කළ කිසිවකු අත්අඩංගුවට නොගැනීම මෙයට ප්‍රබල සාක්‍ෂියක්‌ බවද ඊයේ ජාතික නිදහස්‌ පෙරමුණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවැසීය. වැඩිදුරටත් අදහස්‌ දක්‌වූ හෙතෙම මෙසේද කීය.

සාදය සංවිධානය කර තිබුණේ මාලබේ පදිංචි අමිල පුෂ්පකුමාර සහ ගොතටුව නව නගරයේ පදිංචි හර්ෂණ එරංග නමැති අයට අයිති දැන්වීම් ආයතනයක්‌ මගින් මෙය මිනී මැරුමක්‌ ලෙස දකින්න පුළුවන්. තරුණයන් හතර දෙනකු මිය ගිහිල්ලත් මෙය සංවිධානය කළ කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කළ අය අත්අඩංගුවට ගත යුතු බවට ඇතැම් පොලිස්‌ නිලධාරීන් පැවැසුවත් ඉහළ බලපෑම් නිසා තමන්ට එය කළ නොහැකි බව එම නිලධාරීන් පවසනවා. සාමාන්‍යයෙන් රිය අනතුරකදී පවා පුද්ගලයකු මියගියහොත් රියෑදුරු වැරදි වුණත් නැතත් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. දෙදෙනෙක්‌ ගහ ගත්තත් නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් මේ සිද්ධිය යට ගහන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්‌.

මේ සිද්ධියට ප්‍රබල දේශපාලනඥයෙක්‌ සම්බන්ධයි. අපි එසේ කියන්නේ කළුතර උතුර පොලිසිය භාරව කටයුතු කළ ලලිත් වීරසිංහ නමැති පොලිස්‌ නිලධාරියා දූෂණ චෝදනා නිසා ජාතික පොලිස්‌ කොමිසම මගින් කිසිදු රාජකාරියක්‌ නොපවරා ගල්කිස්‌ස පොලිසියට මාරුකර සිටියදී ඔහු නැවත වාද්දුව පොලිස්‌ ස්‌ථානාධිපති ලෙස පත්වන්නේ මේ ප්‍රබල දේශපාලන මැදිහත්වීම මත නිසයි.

වාද්දුව පොලිස්‌ ස්‌ථානයේ රාජකාරි කරමින් සිටි ප්‍ර.පො.ප. වරයාට දොඩන්ගොඩ පොලිසියට මාරුවක්‌ දීලයි පොලිස්‌ කොමිසමෙන් ඉවත්කළ ලලිත් වීරසිංහ මහතා වාද්දුවට පත්කළේ. මේ වාද්දුව පොලිස්‌ ස්‌ථානය ඒ ශේ්‍රණියේ පොලිසියක්‌. මේකට ප්‍ර.පො.ප. වරයෙක්‌ පත්විය යුතු වුවත් පොලිස්‌ පරීක්‍ෂක ලලිත් වීරසිංහ පත් කිරීමට පියවර ගැනීම කාගේ අවශ්‍යතාවක්‌ද යන්න පොලිස්‌පතිවරයා සොයා බැලිය යුතුයි.

මේ සාදය පවත්වා තිබෙන ස්‌ථානය වාද්දුව පොලිස්‌ ස්‌ථානයට ආසන්නයි. මේ සාදය සඳහා අවසර ගැනීමට ඉදිරිපත්වී තිබෙන්නේ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයෙක්‌.

මෙහිදී රුපියල් 5000 ටිකට්‌ 1000 ක්‌ සහ රුපියල් 3000 ටිකට්‌ 1000 ක්‌ අලෙවි කර තිබෙනවා. මෙහි වතුර බෝතලයක්‌ රුපියල් 300 යි. ඒ වගේම මෙහි ගංජා, කේරළ ගංජා, මත්පැන්, ඩාන්සින්, පෙති ඇතුළු මත්ද්‍රව්‍ය රැසක්‌ තිබී ඇතැයි කියනවා. පුද්ගලික ආරක්‍ෂක අංශ සහය ඇතිව මේක කොහොමද පැවැත්වූවේ කියලා හොයා බලන්න ඕනෑ. පොලිසිය අවසර පත්‍ර දීමට පෙර මෙහි සිදුවන දේ ගැන සොයා බැලීමක්‌ කළාද කියා අපිට සැකයි.

මේ ඩාන්සින් පෙති සමඟ 2017 අගෝස්‌තු 05 වැනිදා ගල්කිස්‌ස ප්‍රදේශයේදී පොලිස්‌ විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට පත්වන්නේ මේ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්‌ ඇතුළු හතරක්‌. එම අවස්‌ථාවේ අත්අඩංගුවට පත්වන වාහනය එම ඇමැතිගේ අමාත්‍යාංශයේ.එහි තිබී ඇමැතිවරයාගේ පුද්ගලික ආරක්‍ෂකයාගේ හැඳුනුම්පත ලැබුණා.

මේ නිසා ඩීඡේ සාද පිටුපස ප්‍රබලයන් ඉන්න බවට එදා සාක්‍ෂි සහිතව එළිවුණා ඒ නිසා අපි කියනවා මේ පිටුපස සිටින දේශපාලනඥයන් හෙළි කරන්න. මේ පිටුපස සිටින සංවිධායකයන් හෙළි කරන්න. ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියලා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.