පසුගිය ආණ්ඩුව වගේ අපි විදේශිකයන්ට ඉඩම් විකුණා නෑ

පසුගිය ආණ්ඩු සමයේ විදේශිකයන්ට මේ රටේ ඉඩම් සින්නක්කර අයිතියට පවරා ඇති බවද මේ රජය ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද කිසිවිටෙකත් විදේශිකයන්ට ඉඩම් විකුණා නැති බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැසීය.

අග්‍රාමාත්‍යවරයා එසේ පැවැසුවේ (21) බද්දේගම නගරයේ පැවැති ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඉඩම් ඔප්පු 4000ක් ලබාදීමේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

හැමකෙනාටම තමන්ගේ භූමියේ අයිතිය තියෙන බව පෙන්වන කොළ කෑල්ල තරම් වටිනා තවත් දෙයක් නැහැ. ඒ නිසා යි මේ ආණ්ඩුව ප්‍රතිපත්තියක් හැටියට ජනතාවට ඉඩම් අයිතිය ලබාදෙන්න කටයුතු කළේ. අපි කිසිවිටෙක ඉඩම් විකුණලා නෑ. අපි ඉඩම්දීලා තියෙන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවට. මට මතකයි සිද්ධි දෙකක්. කොළඹ වරාය නගරය හා ෂැංගි්‍රලා හෝටල් සමාගමට ලබාදුන් හමුදා මූලස්ථානය.

කොළඹ වරාය නගරය හදන්න කියලා චීන සමාගමකට මුහුද ගොඩකරන්නත් ඒ ගොඩකරන මුහුදේ අයිතියත් සින්නක්කරව පවරලා දුන්නා. හොඳ වෙලාවට මේ ආණ්ඩුව බලයට පත්වුණු නිසා අපිට පුළුවන් වුණා ඒ සින්නක්කර අයිතිය අහෝසි කරලා 99 අවුරුදු බද්දකට යටත් කරලා ඒ ඉඩම පවරන්න.

දෙවැනි ලෝක යුද්ධ සමයේ සිට පැවත එන යුද හමුදා මූලස්ථාන භූමිය, ඒකට කියන්නේ යුද හමුදා ඉඩම කියලා. ඒකත් විකුණුවා. සින්නක්කර ඔප්පු දීලා ඒකේ හෝටල් හදන්න පටන් අරගෙන අපි බලේට එනකොට. අපි මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. මොකක්ද යුද හමුදා මූලස්ථානයට කරන්නේ කියලා. ඒක අකුරගොඩට ගෙනියනවා කිව්වා. අලුත් ගොඩනැඟිල්ලක් හදනවා කිව්වා. සල්ලි කොහෙන්ද කියලා ඇහුවාම හමුදා මූලස්ථාන ගොඩනැඟිල්ල විකුණපු රුපියල් මිලියන 25,000ක් තියෙනවා කිව්වා. අපේ ආණ්ඩුව ආවට පස්සේ අපි බැලුවා ඒකත් 99 අවුරුදු බද්දට දෙන්න පුළුවන්ද කියලා. ඒත් ඒකේ වැඩ ආරම්භ කරලා තිබුණු නිසා ඒක කරන්න බැරිවුණා. අපේ හමුදා මූලස්ථානෙත් අපට නැතිවුණා. අකුරගොඩ හමුදා මූලස්ථානේ තාමත් ආරම්භ කළේ නැහැ. ඒකට දැන් ඇස්තමේන්තුව රුපියල් මිලියන 35,000ක්. හදලා ඉවර වෙනකොට රුපියල් මිලියන 70,000ක් විතර වේවි.

අපි ඉඩම් ලබාදෙනවා විතරක් නෙවෙයි ජනතාවට ජීවත්වෙන්න නිවාසත් ලබාදෙනවා. නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහත්තයා මේ වනවිට නිවාස ව්‍යාපෘති 1000ක් විතර නිමකරලා තියෙනවා. වතුකරේ ජනතාවට නිවාස 10,000ක් ඉදිකරන්න දිගම්බරම් ඇමැතිතුමා වැඩ පටන් අරගෙන. ඉස්සර ඒ අයට ඉඩමක්වත් තිබුණේ නැහැ. මීට අමතරව කොළඹ අඩු ආදායම්ලාභීන්ට මහල් නිවාස හදන්න චීනයේ ඒ.අයි.අයි.පී. බැංකුව හරහා මිලියන 32,000ක් ලබාගැනීමටත් කටයුතු කරනවා.

ගිය ආණ්ඩුව 2005 ඉඳලා 2014 වනතුරු ඉදිකළේ අධිවේගි මාර්ග කිලෝමීටර් 183ක්. අපි 2015 ඉඳලා 2017 වෙනකොට කිලෝමීටර් 185ක් කරලා තියෙනවා. ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ප්‍රාථමික පාසල් 3500කට හා ද්විතීය පාසල් 1000කට ඉඩම් ලබාදීලා තියෙනවා. සුරක්ෂා රක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. මහපොළ ආධාරය 2500 ඉඳලා 5000 දක්වා වැඩි කරලා තියෙනවා. ශිෂ්‍යාධාර 2000 සිට 4000 දක්වා වැඩි කරලා තියෙනවා. හෘද රෝගීන් සඳහා නොමිලේ ස්ටෙන්ට් ලබාදීලා තියෙනවා. පිළිකා රෝගීන් සඳහා වෙන්කළ ලක්ෂ 15 දක්වා ප්‍රතිකාරය ජීවිතාන්තය දක්වා වැඩි කරලා තියෙනවා. 1919 සුවසැරිය ගිලන් රථ සේවය අපි මේ රටට ලබාදීලා තියෙනවා.

රජයේ රැකියා ලක්ෂ හතරක් හා පෞද්ගලික හා වෙනත් අංශ යටතේ ලක්ෂ තුනක් වශයෙන් රැකියා ලක්ෂ හතක් ලබාදීලා තියෙනවා. දැන් ගම්පෙරළිය යටතේ විශාල ග්‍රාමීය සංවර්ධන යෝජනා රැසක් ක්‍රියාත්මක වෙනවා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. උපාධිධාරීන්ට පත්වීම් ලබාදීලා තියෙනවා. ආසියාවේ විශාලම සංචාරක කලාපය දකුණේ ආරම්භ කරනවා.

අපි මොනතරම් වැඩ කෙරුවත් මාධ්‍යවලින් අපේ හොඳක් නම් කියන්නේ නැහැ. අදත් මට බනිවී. ඒ එක්කෙනෙක්වත් සුදු වෑන්වල ගෙනියලා නැහැ. වෙඩි තියලා නැහැ. ඒ නිසා බැනගෙන යන්න. ඒකයි අපි ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *