බැසිල් නඩුව අරන් මාරුවෙයි ද..?

තමාට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන නඩුවක් වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සමක් දෙසැම්බර් මස 13 වනදා විභාගයට ගන්නා බව අභියාචනාධිකරණය නියම කළේය.

එම පෙත්සම අද(21) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගය දෙසැම්බර් මස 13 වන දා සිදු කරන බව විනිසුරුවරුන් දින නියම කර සිටියේය.

එදින තෙක් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි අදාළ නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබුණ තහනම් නියෝගය දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියම කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසන්නේ ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව නඩුවක් පවරා ඇති බවයි.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන බව සඳහන් කරන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිල් රෙදි නඩු තීන්දුව ලබා දීමේදී විනිසුරු ගිහාන් කුලතුංග වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර ඇති බව කියා සිටියේය.

තමා ද ඉකුත් රජයේ ප්‍රබල අමාත්‍ය තනතුරක් දැරූ බැවින් ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරන බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් අදාළ නඩුව වෙනත් අධිකරණයක් වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.