රජයේ අනුමැතිය මත බස්ගාස්තුත් ඉහළ දමයි

රජයේ පූර්ණ අනුමැතියට යටත්ව අද (20) සිට බස් ගාස්තු 04% කින් ඉහළ දැමීමට පුද්ගලික බස් රථ හිමියන් තීරණය කොට ඇත. ඊයේ(19) ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවැත් වු සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන මිල වැඩිවීමත් සමගම බස් ගාස්තු ද වැඩිවීමක් කළ යුතු බවට පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සමඟ මෙම සාකච්ඡාව පවත්වා ඇත.

මෙහිදී පෞද්ගලික බස් හිමියන් විසින් ඉල්ලන ලද 10% බස් ගාස්තු වැඩිවීම කිසිසේත් ලබාදිය නොහැකි බවත් මේ සම්බන්ධයෙන් පත්කොට ඇති විද්වත් කමිටු උපදෙස් මත හෙට මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් බස් ගාස්තු වැඩි කිරීමට අවසර දිය හැකි බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

එහෙත් අවම ගාස්තුව වන රු.12 කිසිදු වෙනසක් සිදු නොවන බවද මෙහිදි අවධාරාණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අවශ්‍යවන අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ආවරණ අනුමැතියක් ලබා ගැනීමට ද තමා කටයුතු කරන බව ද අමාත්‍යවරයා පවසා තිබේ.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සිදුවන වෙනස සැළකිල්ලට ගෙන බස් ගාස්තු සංශෝධන ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද ගමනා ගමන කොමිෂන් සභාවේ නිලධාරීන්ට හා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

එමෙන්ම බස් ධාවනය සම්බන්ධයෙන් වන ගැටළු පිළිබඳව හා බස් ගාස්තු සම්බන්ධව අදාල නිර්ණායකයන් ලබන ජනවාරි 01 දා වන විට සකස් කොට අවසන් කරන ලෙස ද මෙහිදී අමාතයවරයා අදාල නිළධාරීන්ට දැනුම් දීමක් කර තිබේ.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ජී.එස් විතානගේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී හේමචන්ද්‍ර බස් සංගම් නියෝජනය කරන සියලූම නියෝජතියන්ද සහභාගී වී තිබේ.

මේ අතර සියයට 04 ක බස් ගාස්තු සංශෝධනය අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවලට සහ අර්ධ සුඛෝපභෝගී බස්රථවලට අදාළ නොවන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ එම බස්රථවල පවතින ගාස්තුවේ වෙනසක් සිදු නොවන බවයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.