ගෝඨාභය පැය 04ක් පුරා CIDයට උත්තර බඳී..

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (12) ගල්කිස්‌ස අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව රාජපක්‌ෂ මහතාගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදු කළ බව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පැවසීය.

ඊයේ පෙරවරු 10.00 ට ගෝඨාභය රාජපක්‌ෂ මහතා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර සවස 2.00 පමණ වනතුරු ප්‍රශ්න කිරීම් සිදු කෙරිණි.

කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් මෙසේ ප්‍රශ්න කළේ දෙවැනි වරටය. ඉකුත් මැයි මස 10 වැනිදා පුවත්පතකට කළ ප්‍රකාශ කීපයක්‌ සම්බන්ධයෙන් එහිදී අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජපක්‌ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලදී.

කීත් නොයාර් පැහැර ගැනීම, ලසන්ත ඝාතනය, උපාලි තෙන්නකෝන් මහතාට පහර දීම පිටුපස හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිටින බවත් මෙම සිද්ධීන් බුද්ධි අංශ යොදවා විමර්ශන කළ යුතු බවත් ගෝඨාභය රාජපක්‌ෂ මහතා මාධ්‍ය ඔස්‌සේ ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධයෙන් රාජපක්‌ෂ මහතාගෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරන ලදී. කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද ඉදිරි දිනවලදී ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

ඉකුත් 2008 වර්ෂයේ මැයි මාසයේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ පහර දී මුදා හැර තිබිණි.

මෙම පැහැර ගැනීම සිදු වූ සමයේ යුද හමුදා බුද්ධි ප්‍රධානියා ලෙස රාජකාරි කළ මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත විමර්ශනවලදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගෙන් නැවත ප්‍රශ්න කළ බව ද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගෙන් සහ කථානායක කරු ජයසූරිය මහත්වරුන්ගෙන්ද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.පැය 4 ක් තිස්සේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

-දිවයින-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *