මෛත්‍රි-රනිල් හවුල් ආණ්ඩුව දැන් නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක්!

නීත්‍යනුකූලව බලයට පත්වූ ආණ්ඩුව උද්ඝෝෂණවලින් පෙරළීමට නොහැකි බව ඇතැමුන් පැවැසුවත් වත්මන් ආණ්ඩුව නීත්‍යනුකූලද යන්න ප්‍රශ්නයක් බව කොළඹ දිස්ත්‍රික් එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ ඇමැති තනතුරුවලින් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ උද්ඝෝෂණයට සහාය පළ කරන බවද හෙතෙම ඊයේ (03දා) එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් පැවැසීය.  

සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන උද්ඝෝෂණයට සහභාගි නොවන ලෙස ශ්‍රී ල.නි.ප. නව මහ ලේකම්වරයා ප්‍රකාශ කොට තිබෙනවා. ශ්‍රී ල.නි.ප.ය දිය කර හැරීමේ වහසිබස් නිසා පෙබරවාරි 10දා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප.යට ලබා ගන්න පුළුවන් වුණේ 13.8%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. මේ පුද්ගලයන් තව තවත් වහසි බස් කිව්වොත් එම ප්‍රතිශතය තවත් අඩුවේවි.

ශ්‍රී ල.නි.ප. ව්‍යවස්ථාවත් සන්ධාන ව්‍යවස්ථාවත් අපි දන්නවා. මේ උද්ඝෝෂණය නිසා එ.ජා.ප.යට ශ්‍රී ල.නි.ප.ය බියට පත් වෙලා. වහසි බස් කියන්නේ එම නිසායි.

2010 මැතිවරණයෙන් ශ්‍රී ල.නි.ප.යට මන්ත්‍රිවරු 127ක් පත් වුණා. පසුගිය මහ මැතිවරණයෙන් පත්වුණු මන්ත්‍රිවරුන් 95න් 82ක් ශ්‍රී ල.නි.ප.ය අයයි. ඒත් අද ශ්‍රී ල.නි.ප.ය මන්ත්‍රිවරුන් 21ට සීමා වෙලා.

අපි හැම විටම තීන්දු ගත්තේ ශ්‍රී ල.නි.ප. තීන්දුවලට එකඟවයි. ආණ්ඩුවෙන් ඉවත් වීමට පක්‍ෂය ගත් තීරණය අනුවයි අපි එළියට ආවේ.

අලි 2568ක් ආරක්‍ෂා කරන්න ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවි මිලදී ගැනීමට තීරණයක් ගෙන ඇති බව මාධ්‍ය වාර්තාකොට තිබෙනවා. කකුල් දෙකේ අලි ආරක්‍ෂා කරන්න ෆීල්ඩ් මාෂල් විසින් බළඇණියක් හදනවද දන්නේ නැහැ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීම නතර කිරීමට ඩොලර් මිලියන 154.6ක වන්දියක් ගෙවා තිබෙනවා. බැඳුම්කර හොරකමේදී වගේ විශාල වංචාවක් මෙමඟින් සිදුවෙලා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය නොගෙන අගමැතිවරයා ඔහුගේ ප්‍රධානත්වයෙන් තිබූ ආර්ථික මණ්ඩලයේ තීරණයක් අනුව මුදල් ගෙන තිබෙනවා. මේ කබීර් හෂීම් අමාත්‍යවරයා කියන්නේ කුමක්දැයි දැනගන්න කැමැතිය.

මේ රටේ විදේශ සංචිත ඉහළ යන බව කිව්වත් ඩොලරයට සාපේක්‍ෂව රුපියල වැටෙනවා. ව්‍යවසායකයෝ බිමට සමතලා වෙලා. එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා කියන්නේ හිතවතුන්ට මුදල් ලබා දීමක් පමණයි. මේ නිසා රාජ්‍ය බැංකු කඩාවැටෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් යාපා අබේර්ධන මහතා,

මේ රටේ සෑම ක්‍ෂේත්‍රයකම අද වනවිට සිදුවී ඇත්තේ කඩා වැටීමක් පමණයි. ඒ නිසා මේකට විරුද්ධව ජනතාව නැඟීසිටින්නේ පක්‍ෂ පාට භේද අමතක කරමිනුයි. කෘෂිකර්ම ක්‍ෂේත්‍රය 31.5%කින් පසුගිය කාලය තුළ කඩාවැටිලා. 2016 වසරේ තිබුණු රුපියල් මිලියන 112,419ක් වූ ආයෝජන 2017දී මිලියන 45,197 දක්වා අඩු වෙලා. ජනතාව මේවට විරුද්ධව උද්ඝෝෂණ කරන කොට ඒක ප්‍රජාතන්ත්‍රවාදය කියලයි ආණ්ඩුව කියන්නේ. නොහැකියාව ප්‍රජාතන්ත්‍රවාදය වෙලා. ජනතාවට ප්‍රශ්න නැත්නම් උද්ඝෝෂණ කරන්නේ නැහැ.

තවත් සති දෙක තුනකින් සමෘද්ධි නිලධාරීන් උද්ඝෝෂණයක නිරත වෙන්න තීරණය කොට තිබෙනවා. මිනිසුන්ට කන්න නැතත් ආණ්ඩුව ප්‍රදර්ශන පවත්වමින් සිටිනවා. අද වනවිට බිලියන 44ක හිඟ මුදල් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම් පැහැරහැර තිබෙනවා. විදේශීය කොන්ත්‍රාත්කරුවන්ට අවස්ථා දීම නිසා දේශීය කොන්ත්‍රාත්කරුවන් අඩපණ වෙලා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා

ශ්‍රී ල.නි.ප.ය සිරිකොතේ වැසිකිළියක් කරන්න එපා කියලා දුමින්ද දිසානායකගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ල.නි.ප. සාමාජිකයන්ට උද්ඝෝෂණයට සහභාගි නොවන ලෙස මහ ලේකම් කියා තිබෙන්නේ ඔහුටත් උද්ඝෝෂණයට එන්න ඕන නිසායි. ඔහු කොමියුනිස්ට් පක්‍ෂයේ සාමාජිකයෙක් මිසක් ශ්‍රී ල.නි.ප. සාමාජිකයෙක් නොවෙයි.

උද්ඝෝෂණවලට බියේ රජයේ සේවක නිවාඩු අවලංගු කොට තිබෙනවා. පෞද්ගලික බස් රථවලින් පවා වන්දනා යෑම තහනම් කොට තිබෙනවා.

-මව්බිම-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *