මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාස 04 තුළ ඉන්ධන මිල 04 වතාවක් ඉහළ දමන ලදී. පළමු අවස්ථාවෙන් පසු මිල ඉහළ දැමීමේ යාන්ත්‍රණයක් ලෙස ඇමති මංගල විසින් ‘ඉන්ධන මිල සුත්‍රයක්’ හඳුන්වා දෙන ලදී. ඉන් පසු මේ වන විට මාස් පතා ඉන්ධන මිල ඉහළ යමින් පවතින අතර ඉතිහාසයේ කවරදාක වත් සිදු නොවූ ලෙස ඩොලරයට සාපේක්ෂව රුපියල බාල්දු වෙමින් පවතී.

මංගල යටතේ රුපියල් දිනපතා බාල්දු වන අතර, ඉන්ධන මිල මාස් පතා ඉහළ යමින් මේ වන විට මුළු රටේ සමස්ත ආර්ථිකය සහ ජන ජීවිත දැඩි කඩා වැටීමකට ලක් කර තිබේ.

මෙහි වගකීම විෂය භාර අමාත්‍යවරයා වන මංගල විසින් ගත යුතු වුවද, ඔහුගේ හැසිරීම තුළින් මෙහි බලපතළ කම හෝ වගවීම දරණ බවක් හෝ එය ඔහුට දැනෙන බවක් පෙනෙන්නට නැත. ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව ඊයේ(11) මාධ්‍යවේදීයෙකු ඔහුගෙන් විමසූ අවස්ථාවේදී මංගල සමරවීර අමාත්‍යවරයා පවසා සිටියේ, ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වන විට වැඩි වන බවත්, අඩුවන විට අඩුවන බවත්ය. එසේ වැඩිවන විට වැඩිවන්නත්, අඩුවන විට අඩුවන්නත් ඉඩ හරිනවානම් ජනතාවගේ මහජන මුදල් කාබාසිනියා කරමින් ඇමතිවරු හෝ අමාත්‍යංශ නඩත්තු කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. ඇමති මංගලගේ දැනුම පරිදි “මිල සුත්‍රය” සමඟින් කමිටුවක් සිටීම ප්‍රමාණවත්ය. වත්මන් මුදල් ඇමතිවරයාට රටේ ආර්ථිකයට සෘජුව බලපාන මුදල් උච්චාවචණය පිළිබඳව නිසි දැනීමක් හෝ තැකීමක් නොමැති නම්, ඇමතිකම් ගෙන අමාත්‍යංශ නඩත්තු නොකර “රුපියලත් ඔය යන විදියකට ගියදෙන්” කියා ඔහුද ගෙදර යා යුතුය.

මේ ආකාරයට නම් ඇමති මංගල තම ඇමතිකමට අදාළ විෂයේ වගකීම දරනුයේ හෙට අනින්දා වනවිට ඇමති මංගල ඊටද “රුපියල් සුත්‍රයක්” හඳුන්වා දී “ලෝක වෙළඳපොලේ ඩොලරය ඉහළ යද්දී, රුපියල ඉහළ යන බවත්, ඩොලරය පහළ යන විට රුපියල ඉහළ යන තුරු බලා සිටිමු” යැයි කීවොත් පුදුම විය යුතු නොවේ.

අනෙක් කරුණ නම් මුදල් ඇමතිවරයා තමන්ට අදාළ විෂයන් සිදුවන කඩා වැටීම ගැන විමසන විට, ඔහු නිරන්තරයෙන් පහර ඉල්ල කරන රාජපක්ෂවරුන් සමඟ ඔහුගේ ගණන් හිලවු සැසඳීමට යාමයි. මංගල සමරවීර අමාත්‍යවරයා මෙන්ම රජයේ අනෙකුත් සියලු දෙනාම සිහිතබා ගත යුතු කරුණ වන්නේ වත්මන් රජයට බලය පැමිණියේ සහ බලයට පැමිණීමට පෙර ජනතාව හමුවේ ප්‍රකාශ කළේ පෙරදා “රාජපක්ෂ රජය විසින් සිදුකළ වැරදි සිදු නොකිරීමට මිස, සාපේක්ෂව නොකර සිටීමට හෝ අඩු කිරීමට නොවන බවය”.

විදේශ අමාත්‍යධුරය දරමින් මංගල සමරවීර විසින් ධනාත්මක වැඩ කොටසක් සිදුකළද මුදල් අමාත්‍යවරයා ලෙස ඔහුගේ නොහැකියාව ඔහුගේ පෞද්ගලික ප්‍රතිරූපයට නොව මුළු රටේම සමස්ත ආර්ථිකයට දරුණු ලෙස බලපා ඇත. අවාසනාව නම් දිනපතා රුපියල මේ තරම් බාල්දු වෙමින්, ව්‍යාපාර කඩා වැටෙමින් රටේ ආර්ථික අර්බුදයක් ඇති කරමින් තිබෙන මොහොතක රටේ ප්‍රධානීන් දෙදෙනා වන ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද නිහඬව බලා සිටීමයි.

මංගල යනු හැකියාවක්, දක්ෂකම් නැත්තෙකු නොවන අතර ඔහු හොඳ දේශපාලන සත්වයෙකි. ඔහු එම නිසා තම දක්ෂතාව පෙන්නුම් කළ හැකි වෙනත් විෂයක් ගෙන කටයුතු කිරීම ඔහුගේත්, රටේත්, ආණ්ඩුවේත් යහපතට හේතු වනු ඇත. එහි වගකීම ඇත්තේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතේය.

-හසිත මානන්දුව-

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *