මෙරට අධ්‍යාපනික, සමාජීය ආර්ථික සහ සෞඛ්‍ය යන සෑම ක්‍ෂේත්‍රයකටම යම් බලපෑමක් සිදු කරන තත්ත්වයක් මේ වන විට රට තුළ උද්ගත වී ඇති නිසා දේශීය ආර්ථිකය ශක්තිමත්ව ගොඩනඟා ගන්නා තුරු ඉන් මිදීමට අපට හැකියාවක් නැතැයි මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියෝ පැවැසූහ.
අතුරලියේ රතන හිමියන් මල්වතු අනු නාහිමියන් බැහැදැක සිංගප්පූරු ගිවිසුම පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදී අනු නාහිමියෝ මෙසේද කීහ.
මෙවන් ගිවිසුම්වල අයහපත් ප්‍රතිඵලයත් සාකච්ඡා කර තිබෙනවා. දැන් මේ සිදු කරන්නේ මෙය නැවැත්වීම සඳහා දැනුවත් කිරීමක් විය හැකියි. දැනට මේ ගිවිසුම අස්සන් කර තිබෙන්නේ. මේ ගිවිසුම් ගැන මහජනතාව දන්නේ නැහැ. උඩරට ගිවිසුම අස්සන් කළා කියා ඒ ගැන සාමාන්‍ය මිනිසුන් දන්නේ නැහැ. සිරිමාවෝ මැතිනියගේ කාලේ සහ ඩී.එස්. සේනානායක මහතාගේ කාලේ මේ රටේ ජාතික ආර්ථිකයක් තිබුණා. ඩී.එස්. සේනානායක මහතාගේ කාලේ මේ රට සහලින් ස්වයංපෝෂිත වුණා. දැන් අපේ ළමයි කෘෂිකර්මාන්තයට නැඹුරු වන්නේ නැහැ. දරුවන් පාසල් ගිය පසු රුපියල් පනස් දහසක් පමණ මවුපියන්ට කියා සොයාගෙන ත්‍රිරෝද රථයක් ගෙන හන්දි ගාණේ ඉන්නවා. මේවා ආයෝජනද. අද සිංගප්පූරුව වගේ රටවල් ජාතික ආර්ථිකයෙන් කොටසක් ජනතාවට බෙදා දෙනවා. ඉස්සර මේ රටේ ජනතාව අතේ මුදල් තිබුණා. නමුත් දැන් කිසිවක් නැහැ. එළවළු නිෂ්පාදනය වැටිලා. ඒවා විකුණා ගන්න බැරිව අලින්ට කන්න දානවා. ඒ සඳහා ජාතික වැඩපිළිවෙළක් නැහැ.
අතුරලියේ රතන හිමියෝ මල්වතු පාර්ශ්වයේ අනු නාහිමියන් හමුවේ මෙසේ කීහ. මමත් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක්. නමුත් අප කෙසේ හෝ මේ සිංගප්පූරු ගිවිසුම පරාජය කළ යුතුයි. තැනිනම් මෙය රටට සහ රටේ ආර්ථිකයට ජාතික නිදහසට ස්වෛරීත්වයට දැඩි ලෙස බලපානවා. ඒ නිසා ජනතාවත් සමඟ අප තීරණයක් ගත යුතුයි. මහ නාහිමිවරුන් ඇතුළු ආගමික නායකයන් සමඟ සියලු වෘත්තීය සමිති නායකයන් සමඟ රටේ ජනතාව එක් වුණොත් මෙය සම්මත කරගන්න බැරිවෙයි කියා අප සිතනවා. ඒ වගේම අප ඒ සඳහා අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ තුළින්ද අප සාධාරණත්වය බලාපොරොත්තු වෙනවා.
ඒ වගේ රජය ජනතාවගේ හඬට ඇහුම්කන් දෙයි කියා අප විශ්වාස කරනවා. දැනට අපට කළ හැකි එකම දෙය එයයි. කොහොම වුණත් මෙය ක්‍රියාත්මක කිරීම නතර කළ යුතුයි. නැතිනම් මෙය රටේ ආර්ථිකයට විශාල බලපෑමක් වෙනවා. දැන් ගිවිසුම අස්සන් කළත් එහි අස්සන් කළ පටිපාටියේ ප්‍රශ්නයක් තිබෙන නිසා අධිකරණ ක්‍රියාවලියකටද ගොස් තිබෙනවා. අධිකරණයෙන් මෙය නීති විරෝධී බව කීවොත් එය යළි ආපස්සට යනවා. නැතිනම් ජනතාව සමඟ පෙරට රැගෙන යනවා. මේ ගිවිසුම යටතේ පිටරටින් ලාභෙට සහල් ආනයනය කළ විට මේ රටේ ගොවීන් අමාරුවේ වැටෙනවා. කර්මාන්තකරුවන් නිෂ්පාදකයන් අමාරුවේ වැටෙනවා. අද ඒ තත්ත්වයට පත් වී තිබෙනවා. රටේ ලක්‍ෂ විස්සක පමණ ජනතාවක් අතරමං වෙනවා. ඒ අයට ත්‍රිරෝද රථයක් ගෙන හන්දි ගාණේ ඉන්න වෙනවා. නැතිනම් කුලී වැඩ කරන්න සිදුවන බවද අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.