රටට බත සැපයූ ගොවි රජවරුන් අද කන්නේ මුරුංගා කොළ

රටට බත සැපයූ ගොවි රජවරුන්ට මේ යහපාලන ආණ්ඩුව යටතේ මුරුංගා කොළ තම්බල කන්න සිද්ධ වෙලා. මුරුංගා කොළ තම්බලා කන ජනතාවගෙන් ජනාධිපතිතුමා සමාව ගත්තට බඩ පිරෙන්නේ නැහැ. ඉතා ඉක්මනින් ඔවුන්ට අවශ්‍ය සහනාධාර ලබාදීමයි කළ යුත්තේ යැයි උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් පැවැසීය.

අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.

රටට බත සැපයූ ගොවි රජවරුන්ට මේ යහපාලන ආණ්ඩුව යටතේ මුරුංගා කොළ තම්බල කන්න සිද්ධ වෙලා. උතුරු මැද ගොවි ජනතාව කන්න හයක් තිස්සේ ගොවිතැනක් නැතුව දුක්වින්ද, ඔවුන්ට කන්න නැතුව ගොවියෝ කොළඹ කුලී වැඩට ගිහිල්ල තියෙන බව මාධ්‍ය උදේ හවා කිව්වා. ඒත් රටේ ජනාධිපතිවරයා ඒක දන්නේ අවුරුදු තුනකට පස්සේ.

යහපාලන ආණ්ඩුව බලයට පත්වුණු දා සිටම වර්ෂාව නොමැතිකමින් කන්න හයක්ම ගොවිතැන් කරගන්න බැරි වුණා. එදා සිටම ජනතාව බඩගින්නේ හිටිය දවස් ගාණ කාපු දවස් ගාණට වඩා වැඩියි. අපි මේවා නිතර නිතර මාධ්‍ය හරහා පෙන්වා දුන්නා. ඒත් වසර තුනක් යනකම් රටේ ජනාධිපති මේක පත්තරෙන්වත් දැකල නැහැ. අද වනවිට ගොවි ජනතාව බරපතළ ආහාර හිඟයට මුහුණපා ඉන්නවා. මේකට පිළියමක් ලෙස සහනාධාර දෙන්න ආණ්ඩුව කටයුතු කරනවා කිව්වත් සහනාධාර දෙනවා කියා ජනතාවගෙන් වැඩ ගත්තා. ඒ සහනාධාර ටිකවත් මාස හයක් තිස්සේ දීල නැහැ.

පුදුමයට කරුණ නම් මේ කිසිවක් රටේ නායකයා නොදැන සිටීමයි. එතුමාට අමතක වෙලා එතුමාම පාකිස්තානයට කතා කරලා හාල් ගෙන්වපු එක. අද පිටරටින් හාල් ගෙනාවට ඒව ගන්න ජනතාවට සල්ලි නැහැ. සහලින් ස්වයංපෝෂිතව තිබූ රටක්. රටට බත සැපයූ ගොවියා අද බඩගින්නේ. අද ගොවියාට මුරුංගා කොළ තම්බගෙන කන්න වෙලා මේක දේව ශාපයක්. දැන්වත් ආණ්ඩුව කළ යුත්තේ සැණකෙළි, උත්සව නවතා මේ ජනතාවට කඩිනමින් සහනාධාර ලබාදීමයි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.