
යුද්ධයේ අවසාන සති දෙකේ හිටපු ජනපති, හිටපු අගමැති, හමුදාපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ලංකාවේ නොසිටි බවත්, එම කාල සීමාවේ වැඩ බැලූ ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් යුද්ධයේ අවසන් සති දෙක පිළිබඳව කරුණු හොඳින් දන්නා පුද්ගලයා තමන් බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ඒ කාරණය බොහෝ දෙනකුට අමතක වී තිබෙනවා සේම ඉහත කී පිරිස මෙරටින් පිටව ගියේ ඇයි දැයි කියා බොහෝ අය නොදන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
“මා එල්ටීටීඊ ත්‍රස්ත ප්‍රහාර පහකට ලක්වුණු කෙනෙක් බව ඔබ දන්නවා. එම ප්‍රහාරවලට ආ එල්ටීටීඊ සාමාජිකයන් ප්‍රහාරවලින් මියගියා. ඇමැතිවරු විදියට ඒ කාලේ අපි උදේ ගෙදරින් එළියට ගියේ හවස ආපහු ගෙදර එන්න පුළුවන්ද කියන සැකයෙන්. ඒ අද්දැකීම හොඳට තිබෙන කෙනෙක් විදියට මා දන්නවා අපේ ආරක්ෂක හමුදා මොන තරම් කැපවීමක් කළාද කියා” යනුවෙන්ද ජනාධිපතිවරයා කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක මහ සමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කර සිටියේ පසුගියදා (26) නිව්යෝර්ක් නුවරදී ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් හමු වූ අවස්ථාවේදීය. ත්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලු දෙනා ශේර්ෂ්ඨ රණවිරුවන් බැවින් ඒ සියලු දෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැප වී සිටින බවත් ඔවුන් වෙනුවෙන් දිය යුතු ඉහළම වරප්‍රසාද නොඅඩුව දෙන බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
ජනාධිපතිවරයා එහි සිටි පිරිස අමතමින් මෙසේද කීය. “එදා යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැතිව ඝාතන කීයක් සිදු වුණාද? ඒ ඝාතන කරන්න කවුද කටයුතු කළේ? ඒවාට කවුද යොදා ගත්තේ? ඒවා තමයි ප්‍රශ්න. 2015 මාව ජනාධිපතිවරයෙක් කරන්න රටේ මතු වූ ප්‍රශ්න රාශියක් අතරේ ඒවා නාම ලේඛනයේ උඩටම ආවා. ඒවට ත්‍රිවිධ හමුදාව එක්ක තිබූ පෞද්ගලික සම්බන්ධතා මත කවුරුන් හෝ හමුදාවල නිලධාරීන් පාවිච්චි කළා නම් ඒක බරපතළ වැරැද්දක්. එවැනි සිද්ධීන් ගැන පරීක්ෂණ කරගෙන යද්දී ඒ පරීක්ෂණවලට සම්බන්ධ වගඋත්තරකාරයෝ හැටියට සමහර තැන්වල දේශපාලනඥයෝ ඉන්නවා. සමහර තැන්වල සාමාන්‍ය පුරවැසියෝ වගඋත්තරකාරයෝ වෙලා ඉන්නවා. ඇතැම් පරීක්ෂණවලදී ත්‍රිවිධ හමුදාවේ අය වගඋත්තරකරුවෝ විදියට ඉන්නවා.”
“රටේ සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඒ සෑම කෙනෙක්ම ඊට යටත් වෙන නිසා යුද්ධයෙන් බාහිරව ඒ ක්‍රියාවන්ට සම්බන්ධ වුණා නම් ඒ කාටත් නීතිය ක්‍රියාත්මක කිරීම වීරෝදාර සැබෑ විශිෂ්ට රණවිරුවන්ට කරන ගෞරවයක්.”
“ලෝකයේම මං තරම් සමාජ මාධ්‍යවලින් අපහාස විඳින ජනාධිපති කෙනෙක් නැතිව ඇති. මට දැන් ගහන ඒවා ඉස්සර අයට ගැහුවා නම් ඉන්න තැනට හොයාගෙන යන්නේ. හැබැයි මේ අවුරුදු තුනේ එවැනි හේතු මත රටෙන් කිසි කෙනෙක් පිටවෙලා නෑ. මාධ්‍ය ආයතන ගිනි අරන් නෑ. කිසිම පුවත්පත් කතුවරයෙක් මහ පාරේ මරලා නැහැ.”