ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ දිනවල පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයට පත්වී පළමු වටයෙන්ම ඉවතට විසි වූ ශ්‍රී ලංකා කණ්ඩායම වර්තමානයේදී මෙවැනි තත්ත්වයකට පත්වූයේ අද ඊයේ නොවන බවත්, මෙයට ප්‍රධානතම වැරැදිකරුවන් අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද සිටින බවත්, හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයකු වූ අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

ඔහු මෙසේ සඳහන් කළේ කටුනායක වලාන සිරි සුමනාරාම පුරාණ මහා විහාරස්ථානයේදී පැවැති ප්‍රජා සංවර්ධන වැඩසටහනකට එක්වෙමිනි.

“ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළේ මේ ආණ්ඩුව. ඒකට දයාසිරි කියන පුද්ගලයා වග කියන්න ඕන. ඔහු තමයි අනවශ්‍ය පුද්ගලයන් ක්‍රීඩාවට ගෙන ආවේ. අද බුකීසිරි කියලා මිනිස්සු දයාසිරිට කියන්න පටන් අරගෙනයි තියෙන්නේ” යනුවෙන් පැවැසූ රණතුංග මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“පසුගිය ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ලොකු අඩුපාඩු තිබුණත් ඔහු නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කර සූදුකාරයන්ට ක්‍රිකට් පරිපාලනයට එන්න දුන්නේ නැහැ. ඒත් දයාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා මොකද කළේ. දයාසිරි ජයසේකර කියන්නේ කවුද කියලා මිනිස්සු හොඳට දන්නවා. අපේ ජනාධිපති තුමාට හිටන්, හුටන්, කොන්දක් නැහැ කියපු ඔහු ඇමැතිකම දෙනකොට ජනාධිපතිතුමා ළඟට ගිහින් කොන්ද නැතිව දෙකට තුනට නැවිලා, වැඳලා ඇමැතිකම ගත්ත කෙනෙක්” යනුවෙන්ද කීය.

“ඔහුට ලොකු ප්‍රශ්නයක් තිබ්බා දක්‍ෂ ක්‍රීඩකයන් එක්ක. පසුගිය කාලේ සුසන්තිකාට, මාලිංගට අපහාස කළා. දයාසිරි හිතන්නේ එයා හරි දක්‍ෂ ක්‍රීඩකයෙක් කියලා. පාරේ බැහැලා පොලු කරකවා සරඹ පෙන්නුවාට, ජිම් එකට ගිහින් පින්තූර ගත්තට ක්‍රීඩකයෝ වෙන්නේ නැහැ. ඔබලා සොයා බලන්න එදා දයාසිරි ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස සිටි කාලේ ගම්වල තිබුණු ක්‍රීඩාංගණවලට කොයිතරම් මුදලක් ගිහින් තියෙනවද? ඒ මුදල් ඇත්තටම ක්‍රීඩාංගණ හදන්න යොදවලා තියෙනවද කියලා. දයාසිරි ගැන අහන්න ඕන මගෙන් නොවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තයාගෙන් හරි ජී.එල්.පීරිස් ඇමැතිතුමාගෙන් හරි අහන්න දයාසිරි කියන්නේ කවුද කියලා. මම මීට කලින් කිව්වා අපි බංග්ලාදේශයට පරදිනවා කියලා ඒක සිද්ධ වුණා. මීට මාස 6කට 8කට ඉස්සසෙල්ලා කිව්වා ඇෆ්ගනිස්ථානයටත් පරදිනවා කියලා. ඒකත් සිද්ධ වුණා. මම තව ටික කාලයකින් කියන්නම් මෙහෙම ගියොත් කාටද පරදින්නේ කියලා” යැයි පැවැසූ රණතුංග මහතා අතුරු කමිටුවක් පත්කිරීම මෙයට විසඳුමක් බවද කීය.

“තවම අපේ ක්‍රිකට් බිම ඇනිලා නැහැ. මේ ක්‍රීඩකයෝ හදන්න පුළුවන්. අපි තාමත් කියන්නේ ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරලා නිලවරණයක් තියන්න. ඒ වෙනතෙක් අතුරු කමිටුවක් පත්කරන්න. අතුරු කමිටුවක් පත්කරන්න බැරි නම් සිදත් වෙත්තමුණි, මහේලලා, සංගක්කාරලා, මුරලිලා වැනි ක්‍රීඩකයෝ ටිකක් දාලා මේක දුවන්න.

මම හිතන්නෙ යහපාලන ආණ්ඩුවෙන් අයහපත්ම දේ වුණේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට. මේ පරාජයන්ට නායකයාට විතරක් ‍ෙදාස් කියලා බැහැ. තේරීම් කමිටුවත්, ක්‍රිකට් පරිපාලනයත් මේ පරාජයට වගකියන්න ඕන. මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමත්, අගමැතිතුමත් බලන්න ඕන. නැතිනම් ඊළඟ මැතිවරණය එනකොට ජනතාව අපි හැමෝටම පාඩමක් උගන්නාවි” යනුවෙන්ද අර්ජුන රණතුංග මහතා පෙන්වා දුන්නේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *