20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීරණය කථානායක අතට

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනය පිළිබඳ යෝජනාවලියට එරෙහිව ඉදිරිපත් කරනු ලැබු පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අදාළ පෙත්සම් විභාගය සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පැවැත්වුණි.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මැදිහත් පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රකාශ කර තිබුණේ තම පක්ෂය විසින් ඉදිරිපත් කර තිබෙන විසිවන සංශෝධනය තුළින් ආණ්ඩුකම ව්‍යවස්ථාව කිසිදු ආකාරයකින් උල්ලංඝනය වීමක් සිදු නොවන බවයි.

මේ හේතුවෙන් අදාළ යෝජනාව සම්මත කිරීමේදී ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද විජිත හේරත් මන්ත්‍රීවරයා සිය පෙත්සමෙන් ඉල්ලා තිබුණි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියේ එම යෝජනාව සම්මත කිරීම අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයක් මෙන්ම ජනමතවිචාරණයක් ද අවශ්‍ය බවයි.

පුරා දින තුනක් තිස්සේ පැවති මෙම පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීරණය කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විසිවන සංශෝධනය යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගමන්පිල, රාවණා බලය සංවිධානය පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර, නීතිඥ පාලිත සේනාධීර ඇතුළු 16 දෙනෙකු විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සිය පෙත්සම්වලින් සඳහන් කර තිබුනේ 20 වන සංශෝධන යෝජනාවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය වන හෙයින් එය සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි.

අදාළ යෝජනාව තුළින් අාණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන බවටත් ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශව කිහිපයක් ද අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *