වැඩ කරන, වැඩ කරපු 72; 2030 ට

ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට සාපේක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය ශක්තිමත් කළ යුතු බැවින් තරුණ නායකත්වයෙන් යුත් නව පරපුරක් බිහි කිරීමේ කාර්යය තමන් විසින් අරඹා ඇති බවත්, 2030 වන විට ශක්තිමත් පක්‍ෂයක් ලෙස ඉදිරියට ගෙන යෑමට එජාපයේ භාරකාරත්වය ඔවුන්ට පවරන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරයි.

“වැඩ කරන වැඩ කරපු 72” යන තේමාව යටතේ එජාප 72 වැනි මහා සම්මේලනය ඊයේ (06) සිරිකොත එජාප මූලස්ථානයේ පැවැත්වූ අවස්ථාවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ඒ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මෙසේද සඳහන් කළේය. 2015 අප ආණ්ඩු බලය ලබා ගන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ ආණ්ඩුවක් ලෙස නොව ජාතික ආණ්ඩුවක් ලෙසයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසත්, මම අගමැති ලෙස භාරගත් අසීමිත ණයකට යටවෙලා තිබුණේ. ඒක භාරව හිටපු කෙනා ඒක වගා නොකර පුරන් වෙන්න ඇරලයි තිබුණේ. බොහෝ අය අපට කීවේ අපි භාරගත් කුඹුර වගා කරන්න බැහැ කියලයි. ඉඩෝර ගංවතුර හැම එකකට මුහුණ දෙමින් අභියෝගයන් ජයගනිමින් අපි කුඹුර වපුරලා තියෙන්නේ. දැන් අස්වැන්න ලබා ගන්න අපට පුළුවන්.

කුඹුර වපුරන ගමන් අපි නිකම් හිටියේ නැහැ. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ දීමනාව රුපියල් 2500 රුපියල් 4000 දක්වා වැඩි කළා. ලැප්ටොප් ලබා දුන්නා. පාසල් 9000ක ගොඩනැඟිලි ඉදිකළා. විදුහල්පති ඇබෑර්තු 4000ක් පිරවූවා. පාසල් සිසු සිසුවියන්ට රක්‍ෂණාවරණය ලබා දුන්නා. ඔෟෂධ මිල ඉහළ ප්‍රතිශතයකින් අඩු කළා. විවේචන විරෝධතා මැද 1990 – සුවසැරිය ගිලන් රථ සේවය නොමිලේ ලබා දුන්නා. රජයේ සේවක වැටුප් රුපියල් 10000 කින් වැඩි කළා. තෙල් මිල අඩු කළා. ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගත්තා. කාන්තා නියෝජනය සියයට 25කින් වැඩි කළා. සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කළා. අධිකරණය ස්වාධීන කළා. ස්වාධීන කොමිෂන් ස්ථාපිත කර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා. මේ සියල්ල කළේ කුඹුර වපුරන ගමන්.

අපි මේ කුඹුර නොගත්තා නම් ඒක සම්පූර්ණයෙන් පුරන් වී විනාශ වී යනවා. උද්ඝෝෂණය ආණ්ඩුවට විරුද්ධව කරනවා කියලා රට පෙරළන්න ගියා. උද්ඝෝෂණයක් හරියට සංවිධානය කරගන්න බැරිව කොහොමද රටක් හදන්නේ. එදා හම්බන්තොට වරාය සුදු අලියෙක්ව තිබුණේ. අද එය අපි ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට පත්කර තිබෙනවා. මත්තල ගුවන් තොටුපොළත් ඉතා අමාරුවෙන් කළමනාකරණය කළා. මේවට අපිට වැට් වැඩි කරන්න වුණා. බදු වැඩි කරන්න වුණා. අප මේ සියල්ල කළේ රටත් ජනතාවත් ගැන හිතලයි. 2025 ඉලක්ක කර රට හදන වැඩපිළිවෙළක් අපි ආරම්භ කර තිබෙනවා. අපේ අඩුපාඩුකම් තිබෙනවා. ඒවත් හරිගස්සගෙන ශක්තිමත්ව අපි ඉදිරියට යනවා. ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇතුළු රට හදන සැලසුම් ගණනාවක් අපි ක්‍රියාත්මක කර තිබෙනවා.

අපි දැන් රැකියා දෙන්න පටන්ගෙන තිබෙනවා. සමෘද්ධිය දෙන්න පටන් ගත්තා. මේවා එකවර කරන්න අමාරුයි. එහෙම පුළුවන් නම් මමත් කැමතියි. ජාතික ආණ්ඩුවේ කොටසක් මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒකත් පරාද වෙලා ඒ අය අනික් පැත්තට ගියා. ඊළඟ ඡන්දයට පෙර අපි පක්‍ෂය හොඳට සංවිධානය කර ශක්තිමත් කරනවා. ඒ සඳහා අපි ගමට බහින්න ඕන. සෑම ඡන්ද පොළකටම නියෝජිතයන් පත් කරන්න ඕන. මේ මාස දෙක ඇතුළත එක ඡන්ද පොළකට නියෝජිතයන් දහ දෙනා ගාණේ මේ මාස දෙක ඇතුළත පත්කරගෙන ඒ අය පුහුණු කරන්න ඕන. ඒක කරන්න බැරි අය දේශපාලනය කරන්න එන්න එපා. අපේ අනිත් පැත්තේ ඉන්න අය අපි දිනාගමු. මේ රට ඉදිරියට ගෙනයෑමේ කාර්යභාරය තරුණ පරපුරට භාර දෙමු. 2025 නොවෙයි 2030 ගැන හිතලා අපි ඔක්කොම එකට එකතුවී පක්‍ෂය ශක්තිමත් කර ඉදිරියට යමු. බැනුම් අහන්න වෙනවා. ඒකට කමක් නැහැ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.