මුදල් ඇමතිගේ නොහැකියාව පෙන්වමින් ඩොලරය රු.165ත් ඉක්මවයි

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (17) රු. 165 ද ඉක්මවා ඉහළ ගියේය.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නවතම විනිමය අනුපාත අගයන් අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 165.1490 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඉකුත් සිකුරාදා (14 දා) දිනයේ රු. 164.3781 ක් විය.

මේ අනුව ඊයේ දිනයේදී පමණක් ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ශත 77 කින් සැලකිය යුතු ලෙස පිරිහීමට ලක්ව තිබේ.

මෙසේ දිගින් දිගටම ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල පිරිහීම නිසා සියලුම ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ යමින් පවතින අතර රුපියලේ වටිනාකම අනුව රටේ විදේශ ණය තොගය ද ඉහළ යමින් තිබේ.

මෙලෙස දිනපතා ඩොලරය ඉහළ යමින් රුපියල බාල්දු වෙද්දී මෙහි මුල්‍ය කළමනාකරණයක් සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර ඇතුලු කිසිවෙකු ගත් ක්‍රියාමාර්ගයක් නොමැති අතර ඇමතිවරයා තම නොහැකියාව වසා ගැනීම සඳහා නිහඬව මුනිවත රකිමින් සිටී.

මින් පෙර මුදල් අමාත්‍යවරුන් මෙවැනි ආර්ථික කඩාවැටීමක් සිදුවන අවස්ථාවලදී අවම වශයෙන් ඒ සඳහා පාදක වන හේතු සහ අනුගමනය කරන ආර්ථික න්‍යායන්, උපක්‍රම සම්බන්ධයෙන් හෝ ජනතාව ඉදිරියේ කරුණු දැක්වීමට ඉදිරිපත් වූවත් වත්මන් මුදල් අමාත්‍යවරයා වන මංගල සමරවීර අවම තරමේ එවැනි කරුණු දැක්වීමක් සිදුකිරීමට වත් ඉදිරිපත් නොවන්නේ, ආර්ථික සහ මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඔහු සතු දැනුම ප්‍රමාණවත් නොවන බැවින්දැයි සැකයක් මතුවේ.

ආශ්‍රිත පුවත්: මංගල දැන් ඔය ඇති.. පුළුවන් දෙයක් ඉල්ලන් කරමුද..?

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *