අනිකාට තර්ජනය කළ බව කියන ශනිල්ගේ කටහඬ රස පරීක්‍ෂක වාර්තාවෙන් තහවුරු වී නෑ

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි ලබාදුන් අනිකා විජේසූරිය මෙනවිය ඇතුළු පවුලේ සාමාජිකයන්ට දුරකථනයෙන් මරණීය තර්ජන කළේ යැයි කියන ශනිල් නෙත්තිකුමාර මහතාගේ කටහඬ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කළ හඬපටයේ අඩංගු කටහඬ බව රජයේ රස පරීක්‍ෂකගේ වාර්තාව අනුව තහවුරු වී නැතැයි ඊයේ (03 වැනිදා* කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේදී හෙළිවිය.

ශනිල් නෙත්තිකුමාර මහතා විසින් කරන ලදැයි කියන එකී මරණීය තර්ජනය පටිගත කර ඉදිරිපත් කළ හඬපටය අධිකරණයේ නියෝගය පරිදි රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කොට කැඳ වූ රස පරීක්‍ෂක වාර්තාව අනුව ඒ බව තහවුරු නොවනා බව පෙන්වා දුන් විත්තියේ නීතිඥවරු සැකකාර ශනිල් නෙත්තිකුමාර නඩු කටයුත්තෙන් මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

සැකකරුගේ කටහඬ සාම්පල් ලබාදී කැඳ වූ එකී රස පරීක්‍ෂක වාර්තාව පරීක්‍ෂා කළ කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැක්‌වීම තහවුරු කළාය.

සැකකරු එම නඩු කටයුත්තෙන් මුදාහරින්නේ ද නැති ද නැතහොත් ඔහුට එරෙහිව ඉහළ අධිකරණයක්‌ හමුවේ අධිචෝදනා ගොනු කරන්නේ ද කියා තීරණය කළ යුත්තේ නීතිපතිවරයා බැවින් ඒ සම්බන්ධයෙන් නීතිපති උපදෙස්‌ කැඳවන ලෙසට මහෙස්‌ත්‍රාත්වරිය එහිදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට මොනෑක්‌ නිවාස සංකීර්ණයෙන් පදිංචිය සඳහා අර්ජුන් ඇලෝසියස්‌ මහතාට අයත් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට අනුබද්ධිත සමාගමක්‌ විසින් කුලී ගෙවා නිවසක්‌ ලබාදුන් බව අනාවරණය කිරීමෙන් පසුව අනිකා විඡේසූරිය මෙනවියගේ සොහොයුරු විජිත් විඡේසූරිය මහතාට තර්ජන එල්ල වී තිබුණි.

නීතිපති උපදෙස්‌ ලබාගැනීම සඳහා එම නඩුව ලබන ජනවාරි 09 වැනිදා දක්‌වා කල්තැබීමට ද මහෙස්‌ත්‍රාත්වරිය මෙහිදී නියෝග කළාය.

ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිත ජයවර්ධන මහතාගේ උපදෙස්‌ මත නීතිඥ අමිල පීරිස්‌, දයාල් වන්නිආරච්චි යන මහත්වරුන් සමඟ නීතිඥ අරවින්ද ගමගේ මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.