ඞීඅයිජී නාලකට, නාමල්ට 8 දා උසාවි එන්නැයි නියෝග

ත‍්‍රස්ත විමර්ශන ඒකකයට නිකුත් කර තිබූ එල්. එම්. ජී. වර්ගයේ ගිනි අවි දෙකක් නාලක ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි එම ඒකකයේ නිලධාරීන් දෙදෙනකු විසින් කිසිදු සටහනක් නොතබා පිටතට රැුගෙන ගොස් දින දෙකකට පසුව රැුගෙන ගිය රාජකාරිය කුමක් දැයි සටහන් කිරීමකින් තොරවම ආපසු භාරදී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05 ) අධිකරණයට දැන්වීය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හා සහකාර පොලිස්‌ අධිකාරි ප්‍රසන්න අල්විස්‌ ඝාතන සැලසුමක්‌ ඇති බවට අනාවරණය කළ දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතාට හා ත්‍රස්‌ත විමර්ශන ඒකකය භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතාට ලබන 08 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොටුව මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (05) පස්‌වරුවේ නියෝග කළාය.

මීටර් 800 ක්‌ දුරක සිට නිසි ඉලක්‌කයට ප්‍රහාර එල්ල කළ හැකි ස්‌වයංක්‍රීය වර්ගයේ එම ගිනි අවි දෙක ත්‍රස්‌ත විමර්ශන ඒකකයෙන් පිටතට ගෙන ගියේ කුමන කරුණක්‌ සඳහා ද? එම කාලය තුළදී ඒවා යම්කිසි අපරාධයකට භාවිත කළේ ද යන කරුණු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට දැන්වීය.

එම ගිනි අවි පිටතට රැගෙන ගිය කාලයේදී භාවිත කර ඇත්දැයි අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය නිකුත් කළාය.

මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා ඇති නාලක ද සිල්වා මහතා හා නාමල් කුමාර යම් හෙයකින් විදේශගත වුවහොත් එම ඝාතන කුමන්ත්‍රණ හෙළිදරව්ව සම්බන්ධයෙන් සිදුකරනා විමර්ශනවලට දැඩි බාධාවක්‌ විය හැකි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට සඳහන් කළේය. එබැවින් නොතීසි නිකුත් කර ඔවුන් දෙදෙනා අධිකරණයට කැඳවා සුදුසු නියෝගයක්‌ නිකුත් කරනා ලෙස ද එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම පාර්ශ්ව දෙකම නීතියට ගරු කරනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බව ද සඳහන් කළේය.

එම ගිනි අවි දෙක නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා මහතා රාජකාරී කළ සමයේ කළ ඉල්ලීමක්‌ අනුව පොලිස්‌ මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්‌ත විමර්ශන ඒකකය වෙත නිකුත් කර ඇති බවත් පසුගිය සැප්තැම්බර් 04 වැනිදා එම ඒකකයේ පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට එය නිකුත් කර ඇත්තේ ද නාලක ද සිල්වා මහතාගේ උපදෙස්‌ මත බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැන්වීය.

පොලිස්‌ රෙගුලාසි අනුව අවි ගබඩාවකින් යම්කිසි නිලධාරියකුට ගිනි අවි නිකුත් කිරීමේදී ඒවා කුමන නිලධාරියාට කුමන රාජකාරී කටයුත්තක්‌ සඳහා භාරදී ඇති ද යන කරුණු මෙන්ම ආපසු භාරදීමේදී ඒවා භාවිත කළේ ද යන කරුණ උප සේවා නිලධාරියාට වාර්තා කළ යුතු වුවත් මෙහිදී ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක්‌ නොමැති බව අනාවරණය වී ඇතැයි ද දිලීප පීරිස්‌ මහතා එහිදී අධිකරණයට සඳහන් කළේය.

එබැවින් පුරා දින දෙකක්‌ විමර්ශන ඒකකයෙන් පිටත රඳවාගෙන කුමන කටයුත්තකට යොදා ගත්තේ ද යන කරුණු අනාවරණය කර ගැනීමට ඒවා භාරයට ගත් පොලිස්‌ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන කරනා බව ද එහිදී සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒවා එම කාලයේදී භාවිත කර ඇත්තේ ද යන කරුණ අනාවරණය කරගැනීම සඳහා රස පරීක්‍ෂක වාර්තාවක්‌ කැඳවන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

උප පොලිස්‌ පරීක්‍ෂක කුමාරසිංහ, මිනීමැරුම් විමර්ශන ඒකකයේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක රංජිත් මුණසිංහ යන මහත්වරුන් සමඟ සහකාර පොලිස්‌ අධිකාරි ඉන්දික ලොකුහෙට්‌ටි මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේය. එම විමර්ශන අධීක්‍ෂණය කර ඒ සඳහා සහාය ලබාදෙන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා විසින් කරන ලද ඉල්ලීමක්‌ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා මහතා විසින් එම කටයුතු නියෝජ්‍ය සොලිසිටර් දිලීප පීරිස්‌ මහතාට පවරා තිබුණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.