ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම බාර ගත්තා – ජනපති

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යංශය තෝරා ගත්තේ මිනිසා ප්‍රමුඛ සියලු සත්ත්වයන්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයට පත් වූ වහාම මුදල් අමාත්‍යංශය තමා යටතට පවරා ගත්ත ද තමා එසේ නොකර, ජනාධිපති ධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා හෙට උපදින මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වගකීම ඉටු කිරීම සඳහා පරිසර අමාත්‍යංශය තමා යටතට පවරාගත් බව ද කියා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (05) පෙරවරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජාතික පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක් වූ ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ පරිසර විනාශය අද මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්ත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බවත්ය.

මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවකු සේ රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිවරයා පරිසරය විනාශ කර දැමීමට කිසිවකුට ඉඩදිය නොහැකි බව ද අවධාරණය කළේය.

යම් දිස්ත්‍රික්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය. පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ සියලු ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අද ශ්‍රී ලංකාව අනුගතව සිටින අතර, පරිසරය රැක ගැනීමේ දී ප්‍රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩ කොටසක් ඉටු කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් මෙවන් පරිසර සමුළු පවත්වන්නේ දිස්ත්‍රික්ක මට්ටමින් පවතින පරිසර ගැටලු විසඳා ගැනීමට බව ද සඳහන් කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සියලු දෙනා ක්‍රියාකාරීව තම වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාව වැඩි දුරටත් අවධාරණය කළේය.

සියලුදෙනා එක්ව පරිසර ප්‍රතිඥාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික පරිසර සමුළුව ආරම්භ කෙරුණු අතර, පාසල් ළමයින් අතර පැළ බෙදාදීමේ වැඩසටහන සංකේතවත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

පරිසර දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් පැවැති තරගවල ජයග්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ ප්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

ඇමැතිවරුන් වන මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය ඇමැතිනී ශ්‍රියානි විජේවික්‍රම, වීරකුමාර දිසානායක, නියෝජ්‍ය ඇමැති අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී චාර්ල්ස් නිර්මලනාදන් යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මැති ඇමැතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, මන්නාරම දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය ද ඊයේ (05) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප්‍රදේශයේ දී සිදුකෙරිණි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.