ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලති

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව දෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක රුක්මලේ ධම්මකිත්ති නාහිමියන් විසින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක්  කර තිබේ.

හෝමාගම උසාවියේ සිද්ධිය සම්පූර්ණයෙන්ම විකෘති කොට ඥානසාර හිමියන් නොකළ වැරදි 04ක් ඔප්පු කොට දඬුවම් ලබා දී ඇති බවත්, බොරු සාක්ෂි ඔප්පුකොට උන්වහන්සේ සිරගත කර තිබීම අධිකරණ ඉතිහාසයේ සිදු වූ අත්වැරැද්දක් නොව අපරාධයක් බවත් ප්‍රධාන සංඝනායක නාහිමියෝ පෙන්වා දෙති.

අධිකරණ තීන්දුවලට භික්ෂූන් වහන්සේලා ගරු කරන නමුත් ඥානසාර හිමියන්ට අදාළ මෙම නීති කටයුත්ත සිදුකළ ආකාරය මුල සිටම සැකසහිත බවත්, පොලීසියේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් වෙනත් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කර ඇතැයි පෙනී යන බවත් උන්වහන්සේ පවසති.

ඥානසාර හිමියන් අධිකරණය තුළ අනවසරයෙන් කතා කොට අධිකරණයට අපහාස කර ඇතැයි ඔප්පු කර තිබුණද, උන්වහන්සේ විනිසුරු සමග සංවාදයක යෙදුණු අවස්ථාවේදී විනිසුරු උසාවියට අපහාස කිරීමක් හෝ දඬුවම් කිරීමක් සිදුකර නොමැති බවත්, ඥානසාර හිමියන් එම අවස්ථාවේදී බුද්ධි නිලධාරීන්ට ඇප ලබාදීමට යම් දෙයක් කළ හැකිදැයි විනිසුරුවරයාගෙන් විමසා තිබුණද නඩු තීන්දුවේ සඳහන් වන්නේ ඇප ලබාදෙන ලෙස විනිසුරුට තර්ජනය කර ඇතැයි යන්න බවත් ප්‍රධාන සංඝනායක නාහිමියෝ පෙන්වා දෙති.

හෝමාගම උසාවියේදී ඥානසාර හිමියන් කතා කර තිබුණද එය කිසි විටෙක උසාවියට අපහාස කිරිමේ අදහසකින් නොව, රටේ හමුදා බුද්ධි නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරකර තැබීම පිළිබඳ කළ අහිංසක ඉල්ලීමක් බවත්, එසේ කතා කිරීමෙන් වරදක් වූයේ නම් සමාවන ලෙස ඥානසාර හිමියන් එම අවස්ථාවේදීම ඉල්ලා තිබියදීත් මෙම සුළු සිද්ධිය විශාල සමාජ අර්බුදයක් නිර්මාණය කරමින් දරුණු තීන්දුවක් ලබා දී තිබෙන බවත් ධම්මකිත්ති හිමියෝ සඳහන් කරති.

මෙම තීන්දුව මෙරට අධිකරණ ක්‍රියාදාමයට පමණක් නොව ස්වාභාවික යුක්තිධර්මයට කැළලක් එක්කර තිබෙන බවත්, මේ තත්ත්වය තුළ නීතිය හා අධිකරණ ක්‍රමය පිළිබඳ ජනතා විශ්වාසය තවදුරටත් පළුදු වීමට ඉඩ තිබෙන බවත් උන්වහන්සේ පෙන්වා දෙති.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.