මලික්ගේ ගිවිසුමෙන් සිංගප්පූරුවේ කුණුගොඩ ලංකාව වෙනවා – විමල්

ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ සිංගප්පූරුව කරනවා වෙනුවට ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ කුණු ගොඩ බවට පත්කරමින් මලික් සමරවික්‍රම ඇමැතිවරයා සිංගප්පූරුවේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහ මහතාගේ ගජමිතුරු අර්ජුන් මහේන්ද්‍රන් මඟින් සිංගප්පූරුවට හිතුවාටත් වඩා වාසි ලබාදෙන ආකාරයෙන් සිංගප්පූරු ගිවිසුම සකසා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසයි.

මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ රජයේ වෛද්‍ය නිලධාරීන් ප්‍රමුඛ වෘත්තීය සංවිධාන හා වෘත්තීය සමිති කිහිපයක් පෙරේදා (15දා) ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ නායකයන් හමුවී සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.

ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ආපසු හැරවීමට ගත හැකි සියලු පියවර ගැනීමට අපි රට සුරකින ජන පවුර හා අත්වැල් බැඳ ගන්නවා.

මේ නීති විරෝධී වෙළෙඳ ගිවිසුම නවතාලීමට එක්ව අප සැවොම සටන් වදිනවා. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ නිසි අනුමැතිය පවා ලබාගෙන නැහැ. අප සැවොම ඒකාබද්ධව මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි බලපෑමක් එල්ල කිරීමට සූදානම්.

රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද
මේ ගිවිසුමෙන් මෙරට වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන්ට, මහජනතාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් අපි රට සුරකින ජනපවුර ලෙස පුළුල් හඬක්, මතයක් ඇති කළා. නමුත් ඒ සියල්ල අභිභවා යමින් බොහොම හොර රහසේ සිංගප්පූරු ගිවිසුම අස්සන් කර රටට විශාල අගතියක් මේ ආණ්ඩුව සිදුකොට තිබෙනවා. ඒ අගතියෙන් මේ රට ගලවා ගැනීම සඳහා ගෙන යන සටනට මේ රටට හිතැති සියලු දේශපාලන පක්ෂත් එකතු කරගැනීමට අප තීරණය කළා.

පාහියන්ගල ආනන්ද සාගර හිමි
“අපේ රටේ අවාසනාවන්තම තත්ත්වය තමයි රටේ කුණු ටික කළමනාකරණය කරගැනීමට අමාත්‍යාංශ 8ක් තිබුණත් පසුගිය දින කිහිපය තුළම රටම දැක්කේ, තියෙන කුණුවලට චම්පික ඇමැතිතුමත් රෝසි නගරාධිපතිනියත් ඇර ගන්නවා පමණයි. කුණුටික මහමඟ කුණුවෙන තත්ත්වයක් රට ඇතුළෙ තිබෙද්දි, සිංගප්පූරුව ඇතුළු රටවල කුණුත් අපේ රටට ගේන්න මේ පිරිස වෙනම ගිවිසුම් ගහනවා.

අරුඅක්කාරු ප්‍රදේශයට කුණු ගෙනියන්න එපා කියලා ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරනවා. සත්‍ය ක්‍රියා කරනවා. කොළඹ කුණුවලට දෙන්න විසඳුම් නැතිව කොහේ හරි තියෙන තෙත් බිමක් හෝ හොය හොයා යනවා ඒ කුණු දාන්න. තවදුරටත් මේ විදියට මේ රටට ඉස්සරහට යන්න දෙන්න බැහැ. මේ එකදු ගිවිසුමක්වත් රටට යහපත් වෙන ඒවා නෙවෙයි.

මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ ගිණුමක් ගැන මේ දිනවල සාකච්ඡාවක් ඇති වී තිබෙනවා. අපට සාධාරණ සැකයක් ඇති වෙනවා ගිවිසුම් හරහා ඇමැතිවරුන්ගේ ගිණුම්වලට මුදල් ඒමේ හැකියාවක් තියෙනවා කියලා. ඒ නිසා මේවට ගෑවුණු ඇමැතිවරු වහා සිරගත කරලා ඔවුන්ට නීති ක්‍රියාමාර්ග ගත යුතුයි. එවිට අපට තේරුම් කර ගත හැකියි සිංගප්පූරු ගිවිසුම වැනි ගිවිසුම්වලට අදාළ ඇමැතිවරුන්ගේ ක්‍රියාමාර්ග සිදුවන්නේ කෙබඳු පරිසරයක් යටතේද කියන එක ගැන.

මේ ගැටලු ගැන ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සංවේදී නම් කළ යුතුව තිබෙන්නේ මේ සඳහා මැදිහත්ව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.

නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ
1815 වැටුණු වළටමයි, අපි 2015වේත් වැටිලා තියෙන්නේ. එදා අපි රැවටුණේ අධිරාජ්‍යවාදීන්ට. ඒත් අද අපි රැවටිලා තියෙන්නේ නව අධිරාජ්‍යවාදීන්ට. එදා 1815දී දේශ හිතෛෂීන්, රණවිරුවන් අධිරාජ්‍යවාදීන් මර්දනය කළා. ස්වාමීන් වහන්සේලා හිරබත් කළා, දරන්න බැරි බදු බරක් ගෙනාවා. මේකෙ දිගුවක් තමයි අද දවස තුළ අපි දකින්නේ. ඒ නිසා රටේ සියලු ජනතාවට, කලාකරුවන්ට ඉතා දැඩිව බලපාන කරුණක් ලෙස මේ සිංගප්පූරු ගිවිසුම දකිනවා. අද රටේ නායකයො දෙන්නටම රට ගැන හෝ ජනතාව ගැන හෝ හිතන්න වෙලාවක් නෑ. ඔවුන් බලන්නෙ තමන්ගෙ බලය රැකගැනීමේ කාරණාව ගැන පමණයි.

මෙහෙම ගියොත් මම හිතනවා 1818 නිදහස් කැරැල්ලට වඩා කැරැල්ලක් රට තුළ ඇතිවෙන එක නවත්තන්න කාටවත් බැරිවේවි.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.