රු. 3.50 සිට රු. 170 දක්වා රුපියල අවප්‍ර‍මාණය වෙලා – කළමනකරනයක් වහාම අවශ්‍යයි

අර්ථික කටයුතු පිළිබද අවසන් තීරණ ගැනීම සදහා National Economic Council නැතිනම් ජාතික අර්ථික කවුන්සිලය කියලා ආයතනයක් නිර්මාණය කර තිබෙනවා. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, මහ බැංකු අධිපති, ලේකම්වරු මෙහි සාමාජිකයින්. මෑත යුගයේ දැවැන්තම මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන්නට ජාතික අර්ථික කවුන්සිලය ගත්ත ප්‍ර‍තිපත්ති තීරණ මොනවාද කියලා රටට පැහැදිලි කළ යුතු යැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා අද රාජගිරියේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී පැවසීය.

එහිදී අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා ,

“නිදහස් ආර්ථිකය ආරම්භ වූ දා සිට අද දක්වා රු. 3.50 සිට රු. 170 දක්වා රුපියලේ අගය අව ප්‍ර‍මාණය වී තිබෙනවා. කාලයෙන් කාලයට රුපියලට තිබෙන ශත සීය අඩුවෙලා නෑ කියලා තර්ක ඉදිරිපත් කරපු මහාචාර්ය තිලක් රත්නකාර ගේ සිට හර්ෂ ද සිල්වා, එරාන් වික්‍ර‍මරත්න දක්වා දේශපාලන න්‍යාය පත්‍ර‍වලට වැඩ කරපු අය රුපියල අවප්‍ර‍මාණය ගැන මවපු සුරංගනා චිත්‍ර‍ ඇස් පනාපිට බිදවැටිලා තියෙනවා. ජාතික ආර්ථික කවුන්සිලයේ කවුරුවත්, අද පවතින අර්බුදය ගැන වචනයක් කියන්න කට අරින්නේ නෑ. අඩුම ගානේ පී.බී.ජයසුන්දර වැනි නිලධාරීන් ජනතාවට කරුණු පැහැදිලි කිරීමට හරි ඉදිරිපත් වුණා. අද මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්, ආර්ථික විද්‍යා ඔස්තාර් ලා කියන පාස්කරලිංගම්, රත්වත්තේ ලා කවුරුත් රටට වගකියන්නේ නෑ. කරුණු පැහැදිලි කරන්නේ නෑ.

රුපියල අවප්‍ර‍මාණය වීම වලක්වා ගැනීමට සංචිත බැහැර කිරීමට තමන් කටයුතු නොකරන බව දේශපාලනඥයින් කියනවා. නමුත්, එය සත්‍යයක් නොවෙයි. පසුගිය සති 3 තුල පමණක් රුපියල ආරක්ෂා කරන්න මහ බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 450 ක් වෙළෙදපොලට මුදා හැර තිබුණා. ඊයේ මහ බැංකුවේ පැවති පුවත්පත් සාකච්ඡාවක දී නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතා පිළිගත්තා 2018 ජනවාරි තිබුණ සංචිත ප්‍ර‍මාණයට වඩා ඩොලර් මිලියන 184 ක් අද අඩුවී තිබෙන බව. “

2018 වසර ආරම්භයේ දී මහ බැංකුව සතු ඩොලර් සංචිත බිලියන 8 කි. පසුගිය මාස 8 තුල එය ඩොලර් මිලියන 500 කින් ඉහළ ගොස් තිබේ. 2018 අගෝස්තු 31 දිනට මහ බැංකුවේ සංචිතයේ වත්කම ඩොලර් මිලියන 8,590.87 කි. එයින් ඩොලර් මිලියන 768.69 ක් (වහා විකුණා දැමිය නොහැකි) රත්තරං සංචිතය කි. සරළව කිව හොත් වෙළෙදපොලට අතහැර දැමිය හැකි මහ බැංකුවේ රටේ විදේශ මුදල් සංචිතය ඩොලර් බිලියන 7.9 කි. පසුගිය සතිය දක්වාම, දිනකට ඩොලර් මිලියන 25 -30 අතර ප්‍ර‍මාණයක් වෙළෙදපොළට එක් කොට තිබුණි. ඩොලර් මිලියන 500 ක් අතහැරිය පසුවත් රුපියල 9%කින් අවප්‍ර‍මාණය වී තිබේ.

මහ බැංකුව සතුව ඇති පරිහරණය කළ හැකි ( සංචිත විදේශ මුදල් (Free Reserve) ඩොලර් බිලියන 7.2 න් 2018 වසර අවසානයේ ණය වාරික ගෙවීම සදහා තවත් ඩොලර් බිලියන 6.4 ක් අවශ්‍යය. ඒ අනුව, තවදුරටත් ඩොලරයේ අගය පාලනය කිරීමට අතහැර දැමිය හැකි මුදල ඩොලර් මිලියන 800 – 1000 ක් අතර ප්‍ර‍මාණයකි. ඩොලරට සාපේක්ෂව රුපියල අවප්‍ර‍මාණයවීමේ මෙවැනිම තත්වයක් 2012 හා 2015 දී ද ඇති විය. මහින්ද රාජපක්ෂ රජය, මහා භාණ්ඩාගාරය සතු ඩොලර් බිලියන 4 ක් 2012 දී වෙළෙදපොල වෙත පොම්ප කළ නමුත්, රුපියලේ 13% කින් අවප්‍ර‍මාණය විය.

වත්මන් රජය යටතේ මහ බැංකු මංකොල්ලයෙන් පසුව, 2015 දී ද මෙවැනිම තත්වයක් උදාවිය. මහ බැංකුවේ නිලධාරීන්ගේ දැඩි විරෝධය මත හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර‍න් ඩොලර් මිලියන 3.25 ක මුදල් සංචිත 2015 අගෝස්තු මහා මැතිවරණයට පෙර වෙළෙදපොලට අතහරිනු ලැබූ නමුත් එදා ද, 9% කින් රුපියල අවප්‍ර‍මාණයවීය. (මහ බැංකු අධිපති කුමාරස්වාමි මහතා පුවත්පත් සාකච්ඡාවක දී පැවසූවේ ඩොලර් මිලියන 1.2 ක් මුදාහැරි බවයි. එය සත්‍ය නොවේ. 2015 මුදා හරිනු ලැබූ මුළු සංචිත ප්‍ර‍මාණය ඩොලර් මිලියන 3.25 කි.

රුපියල තවදුරටත් බාල්දුවීම – අවසානය කොතැනද?

“ලෝකයේ රටවල් හතක මුල්‍ය අනුපාතික අර්බුදයක් ඇතිවිය හැකි බව මෙයට මාස 1 ½ කට පෙර, ජපානයේ ‘නොමුරා‘ මුල්‍ය කළමනාකරණ ආයතනය පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කළා ‘ලංකාව, දකුණු අප්‍රිකාව, ආර්ජන්ටිනාව, පාකිස්ථානය, ඊජිප්තුව, තුරිකිය, යුක්රේනය‘ පිළිබද මේ වාර්තාවේ සදහන් වුනා. ජාතික ආර්ථික කවුන්සිලය, මහ බංකුව, මුදල් අමාත්‍යාංශය මේ වාර්තා ගනන් ගත්තේ නෑ. පිළියම් යෙදුවේ නෑ.

සාමාන්‍යයෙන් ව්‍යවහාරයක් තියෙනවා ‘ආණ්ඩුවට වැඩිය රාජ්‍යය‘ ශක්තිමත් කියලා. අද ලංකාවේ තියෙන්නේ එහි විකෘතියක්. ‘රාජ්‍යයට වැඩිය ආණ්ඩුව ශක්තිමත්‘. වෙනත් රටක මෙවැනි තත්වයක් ඇති වුණාම වගකිව යුතු අය ගෙදර යවනවා. නමුත්, ලංකාවේ මේ අර්බුදයට වගකිව යුතු අය තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කරගන්න සුරංගනා කථා කියනවා“ යැයි ද තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.

“2018 සිංහල-දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ බිද වැටීම ඇරඹුණේ රු. 155.75 ඉඳලා. 2015 දී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව ඇතිවිය හැකි මුල්‍ය අර්බුයදයට දිගු කාලීන හෝ කෙටි කාලීන විසදුම් සෙව්වේ නෑ. එදා හිටපු මුදල් අමාත්‍යවරයා ‘කළු සල්ලි සුදු කරන ආර්ථිකයක්‘ ගැන සිහින මැව්වා. එදා රු. 131 ට තිබූ ඩොලරය රු. 105 දක්වා ශක්තිමත් කරන හැටි ගැන කථා කළා. අදත්, රටට කළු සල්ලි නම් එනවා. ඒවා ලැබෙන්නේ මහා භාණ්ඩාගාරයට නොවෙයි. දේශපාලනඥයින්ගේ ගිණුම්වලට.“

“ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මගින් ලබාදුන් ණය සහන සදහා ලංකා රජය උපක්‍ර‍මික නොවන ව්‍යවසාය ඈවර කිරීම යටතේ හිල්ටන්, ලංකා හොස්පිට්ල් හා හයට් හෝටලය විකුණා දැමීමට යෝජනා කළා. 2014 ජනාධිපතිවරණ වේදිකාවේ දී ව්‍යාපාරික ප්‍ර‍ජාවට දුන් මේ පොරොන්දුව ඉටු කළේ නම් අවම වශයෙන් අද, භාණ්ඩාගාරයට/රටට ඩොලර් මිලියන 500 ක් පහසුවෙන්ම ලැබෙනවා. හිල්ටන් විකුණා දැමීමට යෝජනා වෙලා, දැන් අවුරුදු තුන හමාරක් වෙනවා. තවමත්, එය සිදුකරන්නට ‘කොමිස් මගින් පාලනයවන දේශපාලන-නිලධාරි ආර්ථික විශේෂඥයින්ට හැකිවී නෑ. “

“ආයෝජන මණ්ඩලය හරහා යෝජනා වී තිබු විදුලිබල ව්‍යාපෘති 8 කින් එකක් හෝ ඇරඹීමට යහපාලන රජය අසමත් වුණා. යහපාලන රජයේ අවුරුදු 3 මාස 9 ට එක කිලෝ වෝට් එකක විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක් වී නෑ. ලංකාවේ වැඩිම ආනයන වියදම තියෙන්නේ බොරතෙල් සදහා යි. පුණර්ජනණීය බලශක්ති අමාත්‍යාංශය නමට පමණයි. මේ ආණ්ඩුව යටතේ විදුලිබල මණ්ඩලය ටෙන්ඩර් 250 කට වැඩි සංඛ්‍යාවක් ප්‍ර‍ධානය කර තිබෙනවා. හැබැයි තවම එකම කිලෝ වෝට් එකක් ජාතික විදුලිබල පද්ධතියට එක් වී නෑ. සූර්ය බලශක්තිය ස්ථාපනයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලැබුණු ඩොලර් මිලියන 50 ක ණය ආධාරයට ගිවිසුම් අත්සන් කරන්න මාස 12 ක් ගියා. එහි ප්‍ර‍තිඑල අද රටම බුක්ති විදිනවා“ යැයි ද තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම මාධ්‍ය හමුව සඳහා හිටපු බැංකු විධායක රුසිරුපාල තෙන්නකෝන් මහතාද එක්ව සිටි අතර එහිදී කීර්ති තෙන්නකෝන් මහතා සහ රුසිරුපාල තෙන්නකෝන් මහතා දැක්වූ අදහස් ඇතුළත් හඩපට වලට මෙම ලින්ක් එකෙන් පිවිසෙන්න.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.