සුරුට්ටුවක් ගහලා පැය දෙකෙන් එළියට එන එක නෙමෙයි මුදල් අමාත්‍යාංශය කියන්නේ – රවී

තමන්ට එල්ලවූ චෝදනා හමුවේ දිගු කාලයක් නිහඩව සිටි රවී කරුණානායක මහතා හා ඉරිදා ලංකාදීපය පැවැත්වූ සම්මූඛ සාකච්ඡාවකින් උපුටා ගැනීමකි.

බැදුම්කර ගණුදෙනුව සිදුවන විට රටේ මුදල් අමාත්‍යවරයා ඔබේ නේද ?

ඔව්. මම මුදල් අමාත්‍යවරයා තමයි. ඒත් මහ බැංකුව තිබුණේ කා යටතේද? වාණිජ බැංකු ටික තිබුණේ කා යටතේද? මේවා කතා කරන්න අවශ්‍යයි.

සමහර විට ඔබට මතක නැතිව ඇති අර්ජුන් ඇලෝසියස්ගෙන් ගෙයක් ගත්තා කියලා ඔබට චෝදනාවක් එල්ල වුණා ?

එය සත්‍යතාවයෙන් තොර චෝදනාවක්. එහෙම සත පහක හරි දෙයක් අරගෙන තිබුනා නම් FCID එක, නීතිපති දෙපාර්තමේන්තුව, CID එක උඩ පැනගෙන එනවනේ. ඒකෙන්ම පේනවනේ බොරුවක් කරලා තියෙන ආකාරය. අදටත් මේ ප්‍රශ්ණය ඇති කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න අන්ත දූෂිත නිලධාරීන් දෙදෙනෙක්.

ඔබෙන් පස්සේ මුදල් අමාත්‍යවරයා වන්නේ මංගල සමරවීර.ඔහුගේ ආර්ථික දර්ශණය ගැන ඔබගේ අදහස?

මම සාමාන්‍යයෙන් මගෙන් පස්සේ ආපු කෙනෙක් ගැන කතා කරන්නේ නැහැ. ඒක සදාචාරාත්මක නැහැ. මම ඒක ජනතාවට භාර කරනවා.

ඒ උනාට මේ වෙලාවේ ඔබට යමක් කියන්න පුළුවන්?

එක දෙයක් කියන්නම්. මට භාරදුන්න වගකීම මම හරියට කරා. මට හම්බවුනේ වැටිච්ච ආර්ථිකයක් තිබ්බ රටක් හදන්න. මට බිලී පිත්තක් ලැබෙනේ නෑ. හැබැයි මම මාළු අල්ලලා පෙන්නුවා. බඩුමිල අඩුකලා, රාජ්‍ය සේවක වැටුප් වැඩිකලා, වැඩිහිටි දීමනාව වැඩිකලා, තරුණ තරුණියන්ට ලක්ෂ දෙකක රක්ෂණයක් දුන්නා, හිතා ගන්න බැරි හැම දෙයක්ම මම කරලා පෙන්නුවා. එහෙම ලේසියෙන් අරන් දුන්නු එක අපේ පක්ෂයේ කුහකයින් කිහිප දෙනෙක් විසින් නැති කලා.

එජාපයේ ඉන්නේ ආර්ථික ඔස්තාර්ලා කියලා කියනවනෙ, ඒත් ආර්ථිකය හොම්බෙන් යන්නේ?

මේකනේ හිරමනයක් එංගලන්තයට අරන් ගියත් කරන්න පුළුවන් පොල් ගාන එක විතරනේ. අන්න ඒ වගේ කරන්න පුළුවන් කම නැතිව ටයිටල් තිබුණාට ප්‍රායෝගික නෑ. කකුල් දෙක පොළවේ ගහගෙන කරන්න බැරිනම් වැඩක් නැහැනේ. ඒ උදාහරණය තමයි දැන් පේන්න තියෙන්නේ.

2015 ජනවාරි 08 ඉදන් 2017 මැයි මාසය වෙනකම් ආර්ථිකය කඩා වැටීමක් ගැන කතා කලේ නැහැනේ. වේගවත් සංවර්ධනයත් සමග ඉදිරියට යෑමක් තමයි පෙන්නුම් කලේ. මම ආයෝජනය කල සැම වෙලාවකම ඒක සාර්ථක වුනේ මෛත්‍රී හ රනිල් අත්වැල් බැදන් ගිය නිසයි. ඒක ආරක්ෂා කිරීම තුලින් රට සංවර්ධනය වෙනවා. ඒක කඩා වැටීමේ ප්‍රතිවිපාක තමයි අද දකින්න තියෙන්නේ.

මේ සියල්ලටම හේතුව නායකයින් දෙදෙනා අතර ඇති අවිශ්වාසය. අපි ඒක සුව කරන්න කතාකරන්කොට අර වෛරස්කාරයෝ ගිහින් කේළම් කියලා දුරස් කරනවා. මෙයාලට තියෙන්නේ වෙනම ඇජෙන්ඩා එකක්. ඊළග ජනාධිපතිවරණයට පෙර මේවා කියන්නම ඕන. නැත්තම් එජාප පදනමත් නැතිවෙනවා.

යහපාලනය කිව්වට මේක ගව පාලනයක් කියලයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?

සම්පූර්ණයෙන් එකගයි.යහපාලනය කියලා අපිවගේ දෙතුන් දෙනෙක් ඉලක්ක කරගෙන ගහන එක තමා කරන්නේ. සදුන් ගහ කපන්න කපන්න තමා සුවද. මමත් ඒවගේ. මම මහන්සි වෙලා වැඩකරගෙන යනකොට උන් හිතුවා මූ මෙච්චර මහන්සි වෙන්නේ වෙනත් අරමුණක් ඇති කියලා. අද තමයි දන්නේ එතනට ගිහින් සුරුට්ටුවක් ගහලා පැය දෙකකින් එළියට එන එකට තමයි මුදල් අමාත්‍යාංශය කියන්නේ කියලා

අද කිසිම රාජ්‍ය ආයතනයක වැඩක් කෙරෙන්නේ නැහැ. මේ පිටුපස ඉන්නේ චන්ද්‍රිකා. එයා තමයි එජාපය විනාස කරන වැඩ පිළිවෙලේ ඉන්නේ. 2001 අපේ ආර්ථිකය සෘණ කලේ චන්ද්‍රිකා තමයි. චන්ද්‍රිකාගෙන් පස්සේ තවත් කිහිප දෙනෙක් එකතුවෙලා ඒ දර්ශනේම තමයි ගෙනියන්නේ. ඒ මදිවට ජනාධිපතිවත් නටවන්න යනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.