15% දුම්රිය ගාස්තු වැඩි කිරීම ප්‍රෝඩාවක්

දුම්රිය ගාස්තු වැඩි කළේ 15% කින් පමණක් යැයි පැවසීම ප්‍රෝඩාවක් යැයි ද දුම්රිය ගාස්තුවලට අදාළ දුර ප්‍රමාණ අඩු කිරීම මගින් එහි සැබෑ අගය 35 % ක් පමණ වන්නේ යැයි ද දුම්රිය සේවය සුරැකීමේ සේවක මගී ව්‍යාපාරය චෝදනා කරයි.

අවම දුම්රිය ගාස්තුව වැඩි නොකරන බව කීවත් අදාළ ගෙවීමට නියමිත දුර අඩු කිරීම මගින් අවම ගාස්තුවේ ද වෙනසක් වී ඇතැයි ද මෙමගින් තනිකරම පාරිභෝගිකයන් රැවටීමට රජය කටයුතු කර ඇතැයි ද එම සංවිධානයේ කැඳවුම්කරු අඳුරත්විල චන්ද්‍රජෝති හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

දුම්රිය ගාස්තු වැඩිකිරීමට සිදුවන්නේ ඉන්ධන මිල වැඩිවීම නිසා නම් ආණ්ඩුව කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවාවන්ට සපයන ඉන්ධනවලට බදු සහනයක් ලබාදීම යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.

ගත වූ වසර හතරේදී පොදු ප්‍රවාහනයට වෙන් කළ මුදල සීයට පනහකින් කප්පාදු කර ඇතැයි ද ආණ්ඩුව එමගින් දුම්රිය සේවකයන් මෙන්ම දුම්රිය මගීන් ද අපහසුවට පත් කර ඇතැයි ද චන්ද්‍රජෝති හිමියෝ පවසති.

සෑම පුරවැසියකුටම බදු ගොනුවක් විවෘත කර බදු පිට බදු ගසා සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉහළ දැමූ මොහොතක දුම්රිය ගාස්තු ද වැඩිකිරීමෙන් පොදු ජනතාව කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් රජය මේ තීරණය ආපසු හැරවීමට කටයුතු කළ යුතු බවත් චන්ද්‍රජෝති හිමියෝ වැඩිදුරටත් පවසති.

පොදු ප්‍රවාහන සේවයක් වන දුම්රිය ලාභ ලැබීමේ ව්‍යාපාරයක් කරගත යුතු නැතැයි ද එය අද පාඩු ලබන තත්ත්වයට පත්ව ඇත්තේ රට කර වූ ආණ්ඩුවලම වැරදි ප්‍රතිපත්ති නිසා යැයි ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.