20 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් හා 2/3ක් අවශ්‍යයි

ජනාධිපතිවරයාගේ විධායක බලතල අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වගන්ති තිස් අටෙන් වගන්ති තිස් හයක් සම්මත විය යුත්තේ ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් (තුනෙන් දෙකක ඡන්දයෙන්) බව ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතේ ජනපති බලතල අහෝසි කෙරෙන සියලුම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීරණය වී ඇත. මේ අනුව පනත් කෙටුම්පතේ නාමය දැක්වෙන පළමු වගන්තිය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර පරස්පරතාවක් ඇති වූවොත් සිංහල භාෂා පාඨය බල පැවැත්විය යුතු බව දැක්වෙන 38 වගන්තිය නැතහොත් අවසාන වගන්තිය පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසි වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම්වලට අදාළව ශේ‍ර්ෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයාට එවා ඇතැයි කී නියෝජ්‍ය කථානායකවරයා එකී තීරණය සභාවට ඉදිරිපත් කළේය.

ඒ අනුව පනත් කෙටුම්පතේ 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 19, 20, 21, 22, 23, 26, 27, 28, 29, 30, 32, 34, 35, 36, 37 යන වගන්ති සඳහා මෙසේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීරණය කර ඇති ශේ‍ර්ෂ්ඨාධිකරණය එහි 17, 18, 24, 25, 31 සහ 33 යන වගන්ති හයටද තුනෙන් දෙකක අනුමැතියක් අවශ්‍ය බව දැනුම් දී ඇත.

ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා නොවිය යුතුය, අගමැතිවරයා තෝරාපත් කරගත යුත්තේ පාර්ලිමේන්තුවෙන්, අගමැතිවරයා ආණ්ඩුවේ ප්‍රධානියා විය යුතුයි යන වගන්තීන් ඇතුළු ජනාධිපතිවරයාගේ බලතල අහෝසි කෙරෙන වගන්ති තිස් හයක් ව්‍යවස්ථාවට පටහැනි බවට ශේ‍ර්ෂ්ඨාධිකරණ තීරණයේ දැක්වේ.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published.