ගමෙන් පැන්නූ වෛද්‍යවරයාගෙන් ගමම සමාව ගනී!

ගලහ රෝහලේ දී කුඩා කරුවකු මිය යාමෙන් පසුව රෝහලට සහ වෛද්‍යවරයාට පහර දී වෛද්‍යවරයාගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය වැරදි සිදු විමක් බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිද්ධියට මුහුණ දුන් වෛද්‍යවරයාගෙන් මෙන්ම සියලු පාර්ශවවලින් සමාව ඉල්ලීමට සූදානමින් සිටින බව ශ්‍රී ලාංකික හින්දු පූජකවරුන්ගේ සංගමය පවසයි.

ඒ බැවින් ගලහ රෝහල ඉතා ඉක්මනින් නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලු අංශවලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලාංකික හින්දු පූජකවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මහනුවර දී අද (15) පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා හින්දු පූජකවරුන්ගේ සංගමයේ මහනුවර ශාඛාවේ සභාපති සහ ගලහ ශ්‍රී කුමරන් කෝවිලේ ප්‍රධාන කුරුක්කල්තුමන්ද වන සුන්දරරාජන් ප්‍රභාහර් කුරුක්කල් තුමා මේ බව සඳහන් කළේය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ කුරුක්කල් තුමන් මෙසේද කීය.

“පසුගිය අගෝස්තු මස 28 වනදා ගලහ ග්‍රාමීය රෝහලේ සිදු වූ අවුරුදු එක හමාරක් වයස දරුවකුගේ හදිසි මරණණයෙන් පසුව එම රෝහලටත් වෛද්‍යවරයාටත් ඇති වූ සිද්ධිය එම මරණය වගේම ඉතා සංවේගයට කාරණයක්. මෙම සිදුවීම්වල බරපතලකම මේ වන විට එහි ජීවත්වන සියලු දෙමළ ජනතාව මෙන්ම ප්‍රදේශවාසීන්ද අවබෝධ කර ගෙන තිබෙනවා. මෙම සිද්ධියට මාස කිහිපයක් ගතව තිබුණත් තවමත් එම රෝහල විවෘත කර නැහැ. එයට හේතුව කුමක්ද කියලා අපට තවමත් දැනුම් දී නැහැ. මෙම සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා සමඟ අපි පසුගිය වසර පහක කාලයක් ඇසුරු කර තිබෙනවා.

ඔහුගේ කිසිදු අඩුපාඩුවක් තිබුණේ නෑ. ඉතා හොඳින් ප්‍රදේශයේ ජනතාවට සේවය කළා. ජනතාවට කිසිදු බේදයකින් තොරව සේවත කළ වෛද්‍යවරයෙක්. මෙම කුඩා දරුවා අසනීප වෙලා සිටියදී ඉතා හදිසි අනතුරකට ලක්ව රෝහලට ගෙනා රෝගීන් දෙදෙනෙකු යවා නැවත ගිලන් රිය එන තුරු බලා සිටියදී මෙම දරුවා මිය ගොස් තිබෙනවා. නමුත් මෙම සිද්ධිය පදනම් කර ගෙන එදා රෝහලට පහර දීම ගැනත් වෛද්‍යවරයාට පහර දීම ගැනත් මේ වන විට ප්‍රදේශයේ ජනතාව දැඩි සිත් වෙදනාවට පත් වෙනවා. මේ වගේ සිද්ධීන් වලදී කඩාකප්පල්කාරින් පැන පොදු දේපලවලට හානි සිදු කිරීමට අපි එරෙහි විය යුතුයි.

ගලහ රෝහල තව දුරටත් වසා තැබුවහොත් එම රෝහල යලි විවෘත කිරිමට සිදු වන්නේ ජනශූන්‍ය ප්‍රදේශයකට පමනයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ වැරැද්දක් තියෙනවානම් හෝ ජනතාවගේ වැරැද්දක් තියෙනවානම් අධිකරණය ඒ පිළිබඳව තීන්දුවක් දෙයි. මෙම තත්වයන් සැලකිල්ලට ගෙන ජනාධිපතිතුමත් අගමැතිතුමත් ඇමතුවරුනුත් ඉදිරපත් වී වහාම මෙම රෝහල විවෘත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.”

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *