ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා, අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි

ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා’යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එසේ පැවැසුවේ පසුගියදා කුරුණෑගල, කටුපොත නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අග්‍රාමත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

අද අපි ලෝකයේ විශාලම ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා. ඇමෙරිකා ආර්ථිකය ශක්තිමත් වීම නිසා ඔවුන් ලබා දෙන පොලිය දැන් වැඩි වෙමින් තිබෙනවා. එම නිසා 2008 ඇමෙරිකා ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේ එරටින් පිට වූ ඩොලර් නැවතත් ඇමෙරිකාවට ඇතුළු වෙමින් තිබෙනවා. ඉන්දියාව, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව වැනි රටවල කොටස් වෙළෙඳපොළවල් තුළ තිබූ ඇමෙරිකානු මුදල් නැවතත්, ඇමෙරිකාවේ ආයෝජනය කරනවා. එවිට ලෝකයේ අනෙක් සෑම රටකම ඩොලර් සංචිතය අවප්‍රමාණය වෙනවා. ඒ හරහා අමෙරිකානු මුදල් ප්‍රමාණය වැඩි වී තිබෙනවා. එවිට ශ්‍රී ලංකා රුපියල් ඇතුළු ලෝකයේ බොහෝ රටවල මූල්‍ය ඒකක බාල්දු වීම සිදුවෙනවා.

අපි එදා විපක්ෂයේ සිටින විට මෙම තත්ත්වය පැහැදිලි කළා. එදා පැවැති ආණ්ඩුව විදේශ ණය ලබා ගන්නා විට අප එසේ නොකරන ලෙස ඔවුන්ට පැවැසුවා. අමෙරිකානු ඩොලරයේ පොලිය වැඩි වූ විට රුපියල බාල්දු වන බව අප එදා පැවැසුවත්, රාජපක්ෂ පාලනය පැවැසුවේ එසේ සිදු නොවන බවයි. නමුත් අප කියූ දේ වර්තමානයේ එසේම සිදුවී තිබෙනවා. මේ වසරේ තුන් වැනි වතාවටත් ඇමෙරිකාව ඩොලරයේ පොලිය වැඩි කළා. අවසානයේ ගැටලුව විසඳීමට භාර වී තිබෙන්නේ අපටයි.

අනෙක් අතින් ලෝක ඉන්ධන මිල ක්‍රමානුකූලව වැඩි වෙමින් පවතිනවා. ඉන්ධන මිල වැඩි වන විට ඒ සඳහා ගෙවිය යුතු ඩොලර් ප්‍රමාණය වැඩි වෙනවා. අපේ සංචිතවල තිබෙන ඩොලර් ප්‍රමාණයත් අඩු වෙමින් තිබෙනවා. අපි අද මුහුණදී තිබෙන්නේ මේ අර්බුදයටයි. වර්තමානයේ මේ ගැටලුවට මැදිවී සිටින්නේ ශ්‍රී ලංකාව පමණක් නොවෙයි. සියලුම රටවල් මේ තත්ත්වයට මුහුණ දී තිබෙනවා.

මීට අමතරව චීනය සහ ඇමෙරිකාව අතර විශාල තීරු බදු යුද්ධයක් ඇති වී තිබෙනවා. මේ තීරු බදු යුද්ධය මැද සියලු රටවල් එම අර්බුදයට මුහුණ පා සිටිනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ අර්බුදය තවත් උග්‍ර වී තිබෙන්නේ අපට ණය ගෙවීමට සිදුව තිබීම නිසායි.

2013 – 2014 කාලවලදී ණය පොලිය ගෙවීමටවත් රටේ ජාතික ආදායම ප්‍රමාණවත් වුණේ නැහැ. නමුත් අප පාලනය ලබාගත් පසු එම තත්ත්වය යම් තරමකින් හෝ කළමනාකරණය කර ගැනීමට හැකි වුණා. අපට වැට් වැඩි කිරීමට සිදුවුණා. ඒ නිසා ඔබෙන් බැනුම් ඇසීමට සිදුවුණා. කෙසේ නමුත් අප ණය ගෙවා ගැනීමට හැකි තත්ත්වයක් නිර්මාණය කර ගත්තා.

මේ ආකාරයට අප ඉදිරියට යන ගමන වේගවත් කරන අතරම ජනතාව වෙනුවෙන් කෙටි කාලීන සහන ලබාදීමටත් සිදුව තිබෙනවා. අපේ ඇතැම් ආනයන සීමා කිරීමට පියවර ගන්නා ලෙස මෙම මුදල් ඇමැතිතුමාට පැවැසුවා. එවිට අපට යම් ඩොලර් ප්‍රමාණයක් ඉතිරි වෙනවා. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ට යම්කිසි සහනයක් ලබාදීමට හැකිවෙනවා.

මෙම ගෝලීය අර්බුදය මේ වසරේ අවසන් වන්නේ නැහැ. එය ඉදිරි වසරේත් පවතිනවා. ඊට මුහුණදීමට අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කිරීමේ ශක්තිය තිබෙන්නේ මෙම ආණ්ඩුවට පමණයි. අප මේ රට කෙසේ හෝ ඉදිරියට ගෙනයනවා.

ලෝකයට ණය වීම හරහා අප අර්බුදයකට ලක්වී සිටිනවා. අප ක්‍රියා කරන්නේ මේ රට එම අර්බුදයෙන් ගොඩගැනීමටයි. ඒ සඳහා අපනයන ආර්ථිකයක් ඇති කරමින් මුළු රටම අපනයනයට හුරු කිරීමට සූදානම් වෙනවා.

Ad Widget

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *